ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා රහස් පොලිසිය හමුවේ කළ ප්‍රකාශවල වැඩිදුරටත් මෙසේද සඳහන් වූ බව උසස් පොලිස් නිලධාරීහු මහෙස්‌ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ කළහ.
යුද්ධය පැවැති සමයේ කොළඹ ආරක්‌ෂාව සහ කොළඹ බුද්ධි මෙහෙයුම් සියල්ල සිදු වූයේ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්‌ථාන හරහායි. ඒ ක්‍රියාන්විත සියල්ල සිදු කළේ එවකට ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ සහ ජාතික බුද්ධි ප්‍රධානී කපිල හෙන්දාවිතාරණ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්‌ඩායම් විසින්. එවකට ඒකාබද්ධ මෙහෙයුම් මූලස්‌ථානයේ පැවැති බුද්ධි මෙහෙයුම් රැස්‌වීම් කිසිවකට මා කැඳවා තිබුණේ නැහැ.
උතුරු යුද්ධය ක්‍රියාත්මක කරගෙන යැමට මා වෙත භාර දී තිබුණා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසක පසුගිය කාලයේ සිදු වූ මාධ්‍යවේදීන් ඝාතන, පැහැර ගෙන යැම්, අතුරුදන් කිරීම්, පහර දීම් ඇතුළු අපරාධ රැසක් සිදු කරනු ලැබුවේ හෙන්දාවිතාරණ යටතේ සිටි කල්ලියක් විසිනුයි.
බුද්ධි අංශ නිලධාරීන් යොදා ගෙන පවත්වා ගෙන ගිය ත්‍රිපොලි හමුදා කඳවුර ගැන මා දැනුවත් වී සිටියේ නැහැ. ඒ සියල්ල ක්‍රියාත්මක වුණේ ආරක්‌ෂක ලේකම්වරයා සහ ජාතික බුද්ධි ප්‍රධානියාගේ අනු දැනුම මත බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා රහස් පොලිසිය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබූ බව එහි නිලධාරීහු මහෙස්‌ත්‍රාත්වරයා හමුවේ කියා සිටියේය.
සන්ඩේ ලීඩර් කර්තෘ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් කර ඇති විමර්ශනවලදී ඉතාම වැදගත් තොරතුරු රාශියක් හෙළි කර ගෙන තිබෙන බවද රහස් පොලිස් නිලධාරීහු මහෙස්‌ත්‍රාත්වරයා හමුවේ කියා සිටියහ. ලසන්ත ඝාතනය සිදු වී ඇත්තේ වෙඩි තැබීමකින් නොව උල් සහිත කිසියම් යන්ත්‍රයකින් තුන්වරක් ඇනීමෙන් බවත් පරීක්‌ෂණවලදී අනාවරණය වූ බව රහස් පොලිස් නිලධාරීහු කියා සිටියහ.
ලසන්ත ඝාතනයට පැමිණි නිලධාරීහු පාවිච්චි කළ ජංගම දුරකථන සිම් කාඩ් පත් පහම උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම සහ කීත් නොයාර් පැහැර ගෙන යැමට සම්බන්ධ වූ බුද්ධි අංශ නිලධාරීන් පාවිච්චි කර ඇති බව හෙළි වී ඇතැයි රහස් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



