Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

මාධ්‍ය තුළින් දේශපාලන විකාර පෙන්නුවද මේ ආණ්ඩුව එහෙම වට්ටන්න පුළුවන් එකක් නොවන බව පැහැදිලිවම කියන්න ඕනෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියයි.

මේ ආණ්ඩුව හෙට වැටෙන එකකුත් නොවෙයි. හෙට වැටෙයි කියලා බලාගෙන හිටියත් ඒක වෙන දේකුත් නොවෙයි. අපේ නිල කාලය අපි යනවා වගේම අපි ඊළඟ මැතිවරණ සඳහාත් රජයක් විදියට ජනතාවගේ අපේක්ෂාවන් ඉෂ්ට කරගෙන ආර්ථික සංවර්ධනය ඇති කරගෙන මූලික ප්‍රශ්න විසඳමින් අපේ වගකීම්, යුතුකම් නිසි ලෙස ඉටු කරනවායි ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ඔහු මේ සඳහන කළේ ඊයේ(13) වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයේ පැවැති උෟව වෙල්ලස්ස ජනතාවට ඉඩම් බලපත්‍ර හා දීමනා පත්‍ර දසදහසක් ලබාදුන් දෙරණාභිෂේක මහෝත්සවය අමතමිනි.

යටත් විජිතවාදීන් එදා මේ රට පාලනය කළ කාලය තුළ මුඩුබිම් පනත සම්මත කර මේ රටේ ජනතාවගේ ඉඩම් මහා වතු සමාගම්වලට දුන්නේ ඒ තුළින් බවත් ඒ ප්‍රතිපත්තියෙන් බැහැර විය යුතු බවත් රටේ පොදු ජනතාවට වගාවට, සංවර්ධනයට ගෙයක් ‍ හදාගන්න ඉඩමක් දීම, භූමියේ අයිතිය ලබාදීම රජයේ ප්‍රධාන වගකීමක් වන බවත් ජනාධිපතිවරයා පැවැසීය.

දෙරණාභිෂේක උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙසේද කීය.

මාසයක් ඇතුළත මොනරාගල දිස්ත්‍රික්කයට දෙවරක් පැමිණීමේ හැකියාව මට ලැබුණා. මීට මාසයකට පෙර විජිත් විජිතමුනි සොයිසා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි ආරම්භ කළා කුඹුක්කන්ඔය ව්‍යාපෘතියේ කටයුතු. ඉන්පසු මාසයක් තුළ මොනරාගල දිස්ත්‍රික්කයේ දශක කීපයක් සිය ඉඩම්වල අයිතිය, උරුමය පිළිබඳව රාජ්‍ය ලියවිල්ල නොමැති දස දහසකට වැඩි ආදරණීය ගොවි ජනතාවට තමන්ගේ ඉඩමේ හිමිකම ලබාදීමේ උත්සවයට සහභාගි වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

බිමෙහි අයිතිය සැම විටම ගොවියාට විය යුතුයි කියා මා විශ්වාස කරන්නේ. රටක භූමියේ උරුමය, අයිතිය ගොවියා සතු විය යුතුයි. තමුන්නාන්සේලා ජීවිත කාලය තුළ සැප විඳින මිනිසුන් නොවේ. මේ රටේ ගොවි ජනතාව කියන්නේ දුක්, කඳුළු හෙළන පීඩාවට පත්වෙන, දුෂ්කරතා මැද තමාගේ වගාවට වේලාවට වතුර ටික නැතිව යන, ඇතැම් වෙලාවට වී ටික විකුණා ගන්න අවස්ථාව නොලැබෙන, තවත් වෙලාවට පොහොර ටික, අපි අනුමත නොකළත් සාම්ප්‍රදායිකව භාවිත කරන රසායනික ද්‍රව්‍ය මේවා පිළිබඳව සංවර්ධන සංග්‍රාමයේදී ඔබ ජීවිතය තුළ බොහෝ දුෂ්කරතාවලට මුහුණදුන් පිරිසක්. එයයි මේ රටේ සමස්ත ගොවි ජනතාවගේ තත්ත්වය. එහෙත් අපේ රට කෘෂිකාර්මික රටක්. මේ රට ගොවියන්ගේ රටක්. මේ රටේ සංවර්ධනය පිළිබඳව එදා තිබුණු ආර්ථික සමෘද්ධිය, ශ්‍රී විභූතිය හෙට දවසේත් මේ රටේ ආර්ථික සමෘද්ධිය සහ ශ්‍රී විභූතිය ඇති කළ හැක්කේ කෘෂි ආර්ථිකය, ගොවි ආර්ථිකය ශක්තිත් කරමින් රාජ්‍ය පාලනයේ යහපත් පැවැත්මක් තුළ කියායි මම විශ්වාස කරන්නේ.

මොනරාගල දිස්ත්‍රික්කයේ ඔබ ජල ප්‍රශ්නය සඳහා මුහුණදෙනවා. ඒ නිසයි පසුගිය දිනවල කුඹුක්කන්ඔය ව්‍යාපෘතියේ කටයුතු අපි ආරම්භ කළේ.

මොනරාගල දිස්ත්‍රික්කයේ ජීවත් වන ජනතාවගෙන් 25%ක් පමණ දුගීභාවයෙන් ආර්ථික අසීරුතා මැද ජීවත් වන පිරිසක්. ලංකාවේ මන්දපෝෂණ තත්ත්වයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ 16%කට වැඩි නියෝජනයක් තිබෙනවා. මේ තත්ත්වයන් සැලකිල්ලට ගත් විට මොනරාගල දිස්ත්‍රික්කයේ ආර්ථිකය ගොඩනඟන්නට ආදරණීය දුප්පත් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නඟාසිටුවන්න රජයක් විදියට බොහෝ කළ යුතු කාර්යයන් අතපසු වී ඇති බවක් මම දකිනවා. 2017 වර්ෂය අපි නම් කළේ දුගී බවෙන් නිදහස් වීමේ වර්ෂය ලෙසයි. එය අපි රටක් විදියට මුහුණදෙන දුප්පත්කම පිළිඳ ප්‍රශ්නයයි. සංවර්ධනය පිළිබඳව කතා කළත් මහා යෝධ ව්‍යාපෘති ගැන කතා කළත් ඒ කතා කරන සුන්දර සංවර්ධනය පිටුපස තිබෙන ජනතාවගේ දුප්පත්කම බරපතළ ප්‍රශ්නයක්. අපේ රජය ප්‍රමුඛත්වය දී තිබෙන්නේ මූලික වශයෙන් රටේ ජනතාවගේ ආර්ථිකය ගොඩනඟන්න. දුප්පත්කම අවම කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න.

මොනරාගල, හම්බන්තොට, අම්පාර, අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, උතුරු පළාත මෙන්ම වයඹ පළාතත් දැඩි නියං තත්ත්වයකට මුහුණදුන්නා. සමහර ආණ්ඩුවට විරුද්ධ අය බොහෝ සතුටු වුණා නියඟයක් ආපු නිසා. නමුත් අපිට ස්වභාවධර්මයේ ආශීර්වාදය ලැබුණා.

මහ වැසි වසින්න පටන් ගත්තා. මේ රටේ ජනතාව වාසනාවන්තයි. රට දුප්පත්කමින් නිදහස් කරන්න සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති කරන්න අපේ ස්වාභාවික සම්පත් නිසි කළමනාකරණයකින් යුතුව පාලනය කළ යුතු වෙනවා. එහිදී වර්ෂාව ඉතා වැදගත්. කෘෂි නිෂ්පාදන වැඩි වෙනවා වගේම විදුලිබල උත්පාදනයට විශාල දායකත්වයක් දෙනවා. නියඟය තව මාස කිහිපයක් දීර්ඝව පැවැතුණා නම් මේ රටේ කෘෂි කර්මාන්තය විශාල වශයෙන් පහත වැටෙනවා. ආහාර ප්‍රශ්න එනවා. විදුලිය පිළිබඳව බරපතළ ප්‍රශ්න එනවා. කර්මාන්ත කඩා වැටෙනවා. නමුත් අපි අද ඒ සියල්ලෙන් නිදහස් වෙලා තියෙනවා. මා විශ්වාස කරනවා තෙරුවන් සරණින් දෙවි රැකවරණෙන් අපේ රටට එවැනි කරදර ඇති වෙන්නේ නැහැයි කියලා.

මේ උත්සවයට පැමිණීමට පෙර මම වැල්ලවාය රෝහලේ ගොඩනැඟිල්ලක් විවෘත කළා. වැල්ලවාය රෝහල දැන් තිබෙන තත්ත්වයට වඩා හොඳ තත්ත්වයක තිබිය යුතු රෝහලක්. දැන් තිබෙන තත්ත්වය ගැන මම කනගාටු වෙනවා. එය පළාත් සභාවට අයිති රෝහලක්. මම සෞඛ්‍ය ඇමැති විදියට කාලයක් වැඩ කළ නිසා රෝහලේ තිබෙන අත්‍යවශ්‍ය අංග පිළිබඳව මෙහි සිටි ඇමැතිවරුන්ගෙන් සහ එහි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් ඇහුවා. නමුත් මූලික වශයෙන් මෙවැනි රෝහලකට අවශ්‍ය නාරිවේද වෛද්‍යවරයෙක්වත් නැහැ. ඒ වගේම අත්‍යවශ්‍ය අංශ ගණනාවක් කඩිනමින් සම්පූර්ණ කළ යුතු වෙනවා. ඊට මුදල් වෙන් කරනවා.

බොහෝ විවේචන රජයට තිබෙනවා. නිදහස් මාධ්‍ය තුළ තමුන්නාන්සේ හවස නිවෙසේ සිට රූපවාහිනිය නරඹමින් සිටින විට අපේ හිතවත් පිරිස්ම තමයි මට කියන්නේ ප්‍රවෘත්ති බලන විට මේ ආණ්ඩුව හෙට වැටෙයි කියලා හිතෙනවා කියලා. ඒ වගේම සමහර අය ආණ්ඩුව පිළිබඳ නොයෙක් ආකාරයේ විග්‍රහ කරනවා. නමුත් මම පැහැදිලිව කියන්නට ඕනෑ මාධ්‍ය තුළ පෙන්නුම් කරන දේශපාලන විකාරත් එක්ක මේ ආණ්ඩුව එහෙම වට්ටන්න පුළුවන් එකක් නොවෙයි. හෙට වැටෙන එකකුත් නෙවෙයි. හෙට වැටෙයි කියලා බලාගෙන හිටියත් ඒක වෙන දේකුත් නෙවෙයි. අපේ නිල කාලය අපි යනවා වගේම අපි ඊළඟ මැතිවරණ සඳහාත් රජයක් විදියට ජනාතවගේ අපේක්ෂාවන් ඉෂ්ට කරගෙන ආර්ථික සංවර්ධනය ඇති කරගෙන මූලික ප්‍රශ්න විසඳමින් අපේ වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටු කරනවා.

උෟව වෙල්ලස්ස සටන් ඉතිහාසය පිළිබඳව මෙහි ජීවත් වන ඔබ මටත් වඩා දන්නවා. යටත් විජිතවාදීන් එදා මේ රට පාලනය කළ කාලය තුළ මුඩුබිම් පනත සම්මත කරලා මුඩුබිම් පනත තුළින් තමයි මේ රටේ ජනතාවගේ ඉඩම් මහා වතු සමාගම්වලට දුන්නේ. ඒ ප්‍රතිපත්තියෙන් බැහැර විය යුතු වෙනවා. රටේ පොදු මහජනතාවට වගාවට, සංවර්ධනයට ගෙයක් ‍ හදාගන්න ඉඩමක් දීම භූමියේ අයිතිය ලබාදීම රජයේ ප්‍රධාන වගකීමක් වෙනවා. අද මේ ඉඩම් ඔප්පු දෙනවා වගේම මෙතැනට නොපැමිණි අනෙක් ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අපි අදාළ ආයතන සමඟ කටයුතු කරන බව මෙහිදී සඳහන් කිරීමට කැමැතියි.

මේ රට දුප්පත්කමෙන් තොර ආර්ථික සමෘද්ධියක් ඇති සංවර්ධනයක් වූ රටක් බවට පත් කිරීමට අපි ප්‍රමුඛව කටයුතු කරන බවද සඳහන් කිරීමට කැමැතියි.
උදේනි සමන් කුමාර

වැල්ලවාය - ජී. අයි. රොෂාන්

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News