Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

“ඔයා දන්නවද මම එයාගේ ගීතවලින් සැනසුණේ පුංචි බිලිඳියක් සන්ධියේ ඉඳලයි. මගේ අම්මා කියනවා පොඩි කාලේ මම අඬනකොට මාව නැලවෙන්නේ සෙල්ලම් බඩුවලට වඩා වික්ටර්ගේ පින්තූර තියෙන කැසට් පටි අතට දුන්නාම කියලා. වික්ටර්ගේ ගීිත ඇහෙද්දී මට නින්ද යනවා කියලත් අම්මා කියනවා. ඒකයි මම කියන්නේ අපේ ආදරය සංසාරගත බැඳීමක් කියලා”

ශ්‍රාවක සිත් සප්ත ස්වරයෙන් සැනසූ වික්ටර් රත්නායකයන්ගේ ජීවන සහකාරිය හෂිනි අමේන්ද්‍ර රත්නායක සිය සත් වසරක ප්‍රේම කතාවේ හද ගැහෙනා රාවය ‘සරසවිය’ට මුදා හැරියේ එහෙමයි.

ඒ විතරක් නෙමෙයි මම පුංචි කාලෙදි වික්ටර් ගායිකාවක් සමඟ යුග ගීත ගයන දර්ශන රූපවාහිනියෙන් දකිද්දී ගායිකාවගේ රූපයට කෙළ ගානවා කියලත් අම්මා කීවා. කුඩා කාලේ ඉඳලා එයා මගේ ලෝකයේ විරයෙක්.

* පුංචි තිරයෙන් දුටු ඔබේ ලෝකයේ වීරයා මුලින්ම හැබෑවට මුණගැසුණු දවස මතකයට නැඟුවොත්?

ඔව් මට ඒක අමතක නොවන දවසක්. 2009 වසරේදී ගාල්ලේ කරාපිටියේ එයාගේ සංගීත ප්‍රසංගයක් නරඹන්න මමත් ආවා. හැබැයි නිකං නෙමෙයි. මම එයා වෙනුවෙන් ලියූ දිග කවියක් සමඟ තෑග්ගකුත් අරන් ගියා. මම එයාටම කියලා ලක්සලෙන් කමිසයකුයි සරමකුයි ගත්තා. මම එයාට ලියූ දිග කවිය තාමත් එයා ළඟ තියෙනවා. එහෙනම් ලියා ගන්නකො එයාගේම ගීතවලින්ම තමයි ඒක මම ලීවේ.

සම්බුද්ධ සද්ධර්ම අනුහසින් . . .

හිමියනි අවසරයි වසන දෙව්රම් වෙහෙර

දිගාසිරි පතනුවස් - ගී සුතුර පෙළහරට

මධුර ස්වර හා මුසුවුණු - පරපුරක් වෙනුවෙන්ම

රසභාව සූසර කර . . .



සඳදියට කිරිවතුර බිඳෙන් බිඳ මුසුකර

මා දෙවු අපරිමිත - ආදරයේ උල්පතින්

ජීවන මදින් මද ලැබූ - මගේ පුංචි කාලය

කොහේ නම් රැඳුනිද - සිහිල් සුළං රැල්ලක එතුනිද

අදින් පසු නොව . . . යළි කවරදාවත්

හිරු නොනගිනා මගේ ලොව

දුකඳුරු දෛවයෝගය - ඈ නමින් ලීවෙමි

හෝපලු වන පෙතේ - ලපලු මවා තරු අත් අකුරින්ම



පාවෙන වලාවන් මත - ඈත කඳු බලකොටුවක

වෙසෙන සීගිරි ළඳකට පෙම්පත් එවූ තනි තරුව

නැගුනි ගඟනත - පලා ගනඳුරු

පොඩි කුමාරිහාමියේ - වක්කඩ කැඩුවාම සිනාසෙන

හඳපානේ අත්පටලාගෙන යමු

සෙවනැල්ලෙන් මොහොතකට මිදෙන්නට

මයුරාසන මත සුරිඳුනි - සිහින සතක් දුුටුවෙමි

කොහෙදෝ සිට ඈ පැමිණ සිටියා

ඉරබටු තරුව වාගෙම . . .

සඳ දියට ගලා ගිය - හසරැල් විලක සුපිපුන

ඔබ ලියූ දෙතොල් පෙති සඟවා ගනු මැන

සොඳුරියේ ඔබෙ රුව සමඟින්ම

තොටුපල අයිනේ ඔබ මට... අත වැනූ...

උණ පඳුරේම සෙවණ යට - පතිත විය යුතු නැත

තවත් නෙත් ඔබ මත

මුරකාවල් වැට කඩුලු බිඳී ගිය

කොහේදෝ ඉමක් නැති - ලොවක් උඳුල විය



මා ලද වත වත - මඳ සිනාකැන් දැක

ලන්තෑරුම් ඉනිමං කුමටද?

කොහෙද අඳුරක් බිඳ හෙලන්නට

බිංදුමතී මා ළඟ නම් හිරු තවත් දවසක්

රැගෙන ඒවි හෙටක් . . .



මේ රන් සත්සර - සවනත පිරිමැද

ඔබෙත් මගෙත් රස හැඟුම් පුරන සඳ

මා පමණක් නොව - තුන් සිංහලයෙම අපි

ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ නෑදෑයෝ . . .

එදා තමයි එයා එක්ක මම මුලින්ම කතා කළේ. ඊට පස්සේ දවසක මම එයාට දුරකථන ඇමතුමක් දුන්නා. මම ලියූ කවිය එයා ළඟ තියාගෙන හිටියා . තෑග්ග ලස්සනයි කීවා. ඊට පස්සේ අපි හුඟාක් හිතවත් වුණා. මගේ ගෙදර අයත් සමඟත් හිතවත් වුණා. වික්ටර් මගේ ගෙදර යන්න එන්න ගත්තා.

* පවුලේ තොරතුරුත් දැනගන්න හුඟක් අය මනාපයි?

මගේ තාත්තාට වයස අවු: 81 යි. එයා මිනින්දෝරුවෙක්. අම්මා රෝහිණී ගෘහණියක්. දිලිනි ලොකු අක්කා බාට්ලීට් කම්පැණියේ, එයා විවාහකයි. පොඩි අක්කා නඳුනි විවාහකයි. ගාල්ලේ කන්දෙවත්ත තමයි අපේ ගම.

* පාසල් කාලේ වත ගොත ටිකකුත් කියන්නකෝ?

ගාල්ලේ සංඝමිත්තාවෙන් උසස් පෙළ හැදෑරුවේ වානිජ අංශයෙන්. 2004 උසස් පෙළින් මම ඒ 3 අරන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයට තේරුණා. ඒත් මගේ දෛවය සරසවි ගමනට බාධා කළේ පුදුම විදිහට. ඒ වෙනකොටත් මම පුද්ගලික ගුරුවරයෙක් සමඟ පෙම් සබඳතාවක් පවත්වලා වයස අවු: 20 දී විවාහ වුණා. ඔහු මට වඩා අවුරුදු 8 ක් වැඩිමල්. ඉතාමත් කෙටි ඇසුරකින් අපි විවාහ වුණේ. දැඩි ලෙස අදහස් නොගැලපීම්, ගැටුම් තිබූ නිසා විවාහ වෙලා වසරකින් පසු අපි වෙන් වුණා.

පාසල් සමයේදී මම කනිෂ්ඨ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවක්. පාසල් මාධ්‍ය අංශයේ, බටහිර තූර්ය වාදනය, බටහිර සංගීතය අවසන් විභාගය දක්වාම කළා. පාසලේ උත්සවවලදී පියානෝව වාදනය කළා. විවාහයත් සමඟම මම ගාල්ල කොටුව මහජන බැංකුවේ නිලධාරිනියක් ලෙස සේවය කළා. මට වික්ටර් හමුවුණෙත් ඒ යුගයේම තමයි.

* ආදරය මුලින්ම ප්‍රකාශ කළේ කොහොමද?

එදා වික්ටර් මගේ ගෙදර ඇවිත් හිටියා. මගේ නිවසේ අය ඥාති නිවසක විවාහ මංගල උත්සවයකට ගිහින් හිටියා. අපි හිටියේ මගේ අක්කගේ ගෙදර. රෑ කෑම අරන් යන්නයි නැවතුණේ. එයා එදා තමයි මුලින්ම මට අදරෙයි කියලා මුවින් ප්‍රකාශ කළේ. නමුත් ඒ වන විට අපි පුදුම තරමින් සිත්වලින් බැඳිලා හිටියේ. ආදරය කියන වචනය මුවින් පිටවෙලා නොතිබුණාට අපේ සිත්වලින් සිය දහස්වරක් හුවමාරු වෙලා තිබුණේ.

ඇත්තටම එයා මට වරෙක පියෙක්, මිතුරෙක් සොයුරෙක්. දැන් සැමියා විදිහටත්, ගුරවරයෙක් ලෙසටත් මගේ ජීවිතය ආදරයෙන් සෙනෙහසින් පුරවනවා. දහසක් වචන භාවිතා නොකර මගේ හැඟීම්, ඉරියව්, සිතුම් පැතුම් අවබෝධ කර ගැනිමේ හොඳ ඉවක් එයාට තියෙනවා.

අපි ආදරෙන් බැඳුණාට පස්සේ මම කොළඹ පන්තියකට ගියා. ඒ කාලෙදි අපි ආදරෙන් හමු වුණා. අපේ කතාබහ, ඉරියව්, හැඟීම් ගැන ගෙදරට ඉව වැටුණාම අම්මයි තාත්තයි, අක්කලයි තදින්ම විරුද්ධ වුණා. එයාලා උත්සාහ කළෙත් මාව වික්ටර්ගෙන් ඈත් කරලා වෙන කාට හරි බන්දලා දෙන්න.

විවාහ නොවී වුණත් අපි එක වහලක් යට අවුරුදු 2 ක් විතර ජීවත් වුණේ හරිම අවබෝධයෙන්. අපේ බැඳීම විවාහයටත් වඩා එහා ගිය එකක්. ඒ නිසා කඩදාසියක අත්සන් කරලා එක් කරන බැඳීමට වඩා එහා ගිය පුදුමාකාර බන්ධනයකින් අපි වෙලිලා ඉන්නේ. විවාහ වෙන එක අපට එච්චර ගැටලුවක් වුනේ නැති වුණත් වික්ටර්ගේ දරුවන්ගේ ගැටලු නිසා තමයි විවාහ වෙන්න හිතුවේ. විවාහ වූ බව දැනගත්තා මාගේ දෙමාපියොත් කැලඹීමට පත් වුණා.

* වික්ටර්ගේ ‘ස’ ප්‍රසංගයේදී වගේම හැම කටයුත්තකදීම ඔයාගේ භූමිකාව මොන වගේද?

පහුගිය වකවානුව පුරාවටත්, දැනුත් ඉදිරියටත් එයාගේ ජීවන සහකාරිය වගේම වෘත්තීය ජීවිතයේ හවුල්කාරිය ලෙසට මම කැප වෙනවා. එයා තාමත් සංගීත ක්ෂේත්‍රයේ සක්‍රීය දායකත්වයක් දරන නිසා එයා පසුපස සෙවනැල්ල සේ රැඳෙමින් සියලු කටයුතු සොයා බලා සම්පාදනය කරන්නෙ මමයි. මමත් එයාගේ ජීවිතය සමීපයේ බොහෝ දේ ඉගෙන ගන්නවා. එදා මෙදාතුර අතීත දිවියේ බොහෝ දේ එයා මට පවසලා තියෙනවා. එයාගේ ජීවිතය මේතාක් ජයග්‍රහණය කරා මෙහෙය වූ චිත්‍රා ජයසිංහ හොඳ බිරිඳක් බවත් මා සමඟ කියා තියෙනවා’

පසුගිය කාලේ මේ සම්බන්ධ ගැටුම් සම්බන්ධව කිසිවක් කියන්න හෂිනි කැමති වුණේ නැහැ. මා ඇසූ ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු නොදී ඇය මෙහෙම කීවා.

ඇත්තට සමහර දිනවලට අපි හරිම අවිවේකයි. සංගීත ප්‍රසංග, වැඩ මුළු, උත්සව නිමක් නැහැ. ගෙදර ඉද්දි වික්ටර් පොත්පත් කියවන්න හරි කැමතියි. හොඳ ධර්ම දේශනාවලට සවන් දෙනවා. ඉන්දියාවේ චැනල්වල හොඳ චිත්‍රපට, සංගීත වැඩසටහන් නරඹනවා.

* ඔයාලා මේ ජිවත් වෙන්නේ අග නගරයෙන් දුරස්ව ඔරුවල අතුරුගිරියේ නිහඬ සුන්දර පරිසරයක. කොහොමද දින චරියාව ගෙවෙන්නේ . . .?

ගෙදර ඉන්නේ අපි දෙන්නා විතරයි. අපි දෙන්නම උදේ 5.00 ට නැගිටිනවා. එයා උදේට ව්‍යායාම කරලා එද්දී මම කොළ කැඳ කෝප්පයක් හදලා දෙනවා. වික්ටර් ධර්ම දේශනාවකට හරි රූපවාහිනියෙන් විකාශයවන පුවත්පත් තොරතුරු බලනවා. බුදුන් වැඳලා උදේ ආහාරය අරන් උදේට හැමදාම නානවා.

රාජකාරි කටයුතුලට එළියට නොගියොත් වික්ටර් නිවසට වෙලා සංගීතමය කටයුතුවල යෙදෙනවා. ගෙදර දොර හරි පිළිවෙලට තබාගැනීම එයා බලාපොරොත්තු වන දෙයක්. නිර්මාණකරණයට එයාට අවශ්‍ය ගෙදර වටපිටාව මම සකසලා දෙනවා. අපිට උයන්න දේවල් පවා ගේන්නේ මම ගිහින්. උදේට රොටි කන්න වික්ටර් ආසයි. දවල් බතට පලා මැල්ලුමක් ඕනෙමයි. ගමේ එළවළු, කොස්, පොලොස් තමයි වැඩියෙන් මනාප.

* දේශීය විදේශීය සංචාරවල යෙදෙන්න ආස ඇති නේද?

අපි පසුගිය දිනවල අනුරාධපුර පොළොන්නරු ත්‍රිකුණාමලේ ගියා. වික්ටර්ට මිනිසුන්ගේ ජනාදරය තාමත් නොනැසී පැවතී තිබීම දකින එක හරිම සතුටක්. ඒ විතරක් නෙමෙයි අදටත් වික්ටර්ටම ආදරය කරන රසික රසිකාවියෝ දිනපතාම කතා කරනවා. මම දුරකථනය ගත්තත් වික්ටර්ට දෙනවා. මොකද එයාලා බලාපොරොත්තු වෙන්නේ වික්ටර්ට කතා කරන්න. මගේ හිතේ අහිතක් නෑ. මම සතුටයි එයාට ලැබෙන ප්‍රතිචාර ගැන. අපි දෙන්න හරිම අවබෝධයෙන් ඉන්නේ. අපි ළඟදී සිංගප්පූරුවේ සංචාරයක යෙදෙන්නයි ඉන්නේ.

* වික්ටර්ගේ ගීත අතුරින් හෂිනිගේ සිත්ගත් ගීත ගැන කීවොත්?

මුතු වරුසාවට තෙමිලා, කොතැනද අද ඔබ ඉන්නේ, දෙතොළඟ සිනහ කියන ගීතවලට මම හුඟක් කැමතියි.

* හෂීනි අවබෝධ කරගෙන තියෙන විදිහට වික්ටර්ගේ යහපත් හා අයහපත් ගතිගුණ?

සියලු දේ උපේක්ෂාවෙන් ඉවසා සිටිම මම දකින විශිෂ්ට ගුණයක්. ඒ වගේම අසාධාරණය අකටයුත්ත හමුවේ එයාට තදින් තරහා යනවා. දැඩි ලෙස කෝප වීම තුළින් ඇතැමුන් අමනාප වෙනවා.

ඒත් එයා බෞද්ධ වැඩ කටයුතු කැපවීමෙන් ඉටු කරනවා. ලෙවන්ගම ධම්මිකාරාම භික්ෂුනී ආරාමයේ බුදු පිළිමයක් හැදුවා. මම එයාගෙන් ජීවිතෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. තාමත් ඉගෙන ගන්නවා.

බත්තරමුල්ලේදී සිදු වූ අපේ විවාහයට සාක්ෂි දැරුවේ විශ්‍රාමික මාධ්‍ය ප්‍රකාශක දයා විජේසේකර හා හොංකොං විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික ඉංග්‍රිසි මහාචාර්ය ජෝර්ජ් බ්‍රේන් යන මහත්වරුන්.

මම හිතනවා මම මේ ලෝකේ වාසනාවන්තම බිරිඳ කියලා. ඒ තරමටම වචනවලින් පවසන්න බැරි තරමට අපි අවබෝධයෙන් ආදරෙන් ඉන්නවා.

එයාගේ නම ගෙනියන්න හැමදාමත් මා ළඟ තියාගන්න ජිවමාන සිහිවටනයක් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ප්‍රේම පරාදීසේ

සිනහ බිඳුව ඔබ

කඳුළු බිඳුව ඔබ

ප්‍රේම පරාදීසේ

විකල් මතක මැද පහන් තරුව ඔබ

විළිලන අඳුරක නැවුම් ඉරකි ඔබ

වික්ටර් - හෂිනි ආදර කතාව වික්ටර්ගේ මුවින් නොකීවාට ඇය කියූ හැම දෙයක්ම නිවැරැදියි කියලා වික්ටර් රත්නායකයන් අනුමත කළේ සෙනෙහෙවන්ත සිනාවකින් මුව සරසාගෙනයි.

-නිශානී හේරත් බන්නැහැක (සරසවිය)

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News