Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

අයවැය විවාදයට ඇමැතිවරු සහභාගි වන නිසා මේ සතියේත් කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තුවේදීය. මේ නිසා මේ සතියේ දෙවරක්ම පාර්ලිමේන්තුවට පැමිණීමට මෛත්‍රීට සිදුවිය. පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමක් නොපැවැත්වුණ නිසා මේ සතියේ කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකා අසූවක් පමණ ඉදිරිපත් වී තිබුණි. මේ සතියේ කාගේත් අවධානය යොමුවූයේ ජීවන වියදම කෙරෙහිය.
“හාල් ‍පොල් මිල වැඩියි. ඒ නිසා තමයි ජීවන වියදම වැඩිවෙලා තිබෙන්නේ. ජිවන වියදම අඩු කරන්න කටයුතු කරන්න ඕන” මෛත්‍රී කතාව ආරම්භ කළේය.

“ජීවන වියදමට බලපාන අමාත්‍යාංශ අතර අවබෝධයක් තිබෙන්න ඕන” අගමැති රනිල් වික්‍රමසිංහද කතාවට එක්විය.
“උඩරට සහ පහතරට එළවළු නිෂ්පාදනය සියයට තිහකින් විතර විනාශ වෙලා තිබෙනවා. ඒ වගේම වී නිෂ්පාදනයත් පහළ වැටිලා. ගංවතුර හා නියගය නිසා සිදුවූ වගා විනාශයන් ගැන නිලධාරීන් හරියට වාර්තා කරලා නෑ. සතොසෙන් ජනතාව බඩු ගන්නවා කියලා කිව්වට සියයට තිස්පහක් විතර තමයි සතොසෙන් බඩු ගන්නේ. අනික් අය බඩු ගන්නේ වෙන වෙන තැන්වලින්. මේ නිසා සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයටත් අවසර දෙන්න ඕන” මෛත්‍රී පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරීමට අවසර දීමට යෝජනා කළේය.
“අපි දැනටමත් පෞද්ගලික අංශයට සහල් ආනයනය කරන්න අවසර දීලා තියෙනවා රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා කතාව මැදට එක්විය.
“ඒ අවසර දීලා තියෙන්නේ සතොස බලපත්‍ර මගින් ආනයනය කරන්නනේ. එහෙම නැතිව පෞද්ගලික අංශයට විවෘතවම සහල් ආනයනය කිරීමට අවසර දීලා නෑ” රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේය.
“සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර දෙමු. එතකොට ජීවන වියදම අඩු කරන්න පුළුවන්” රනිල්ද මෛත්‍රීගේ යෝජනාවට පක්ෂ විය.
ඉන් පසුව ‍පොල් මිල ගැන කතා කරන්න ගත්තේද රනිල්මය. කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් ඔහු පැවැසුවේ ‍පොල් ආනයනය කිරීමට අවසර දිය යුතු බවය.
“‍පොල් ආනයනය කිරීමේදී පළිබෝධ ඒ සමග එනවාද කියන එක බලන්න වෙනවා. ඒ ගැන වගකීම් නවීන්ට භාරදෙමු” රනිල් යෝජනා කළේය.
“මේ තීන්දු ගත්තාට ඒවා බිම් මට්ටමේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒවාටත් ක්‍රමවේදයක් තියෙන්න ඕන” සජිත් ප්‍රේමදාස කීවේය.
“බඩු මිල අඩු කරන්න ඕන කියලා කියනවා. ඒත් සතොසට බඩු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ලැබෙන්නේ නෑ. මුදල් අමාත්‍යාංශයෙන් ලබාදෙන ප්‍රතිපාදන මදි” රිෂාඩ් තමන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කළේය.
“සතොසේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා තමයි අපි මුදල් දෙන්නේ නැත්තේ” මංගල සමරවීර ඇමැතිවරයා සතොසේ ඇති ගැටලු ගැන කියන විට රිෂාඩ් එයට උත්තර දුන්නේ තරමක් ආවේගයෙන් යුතුවය.
“ජීවන වියදම් කමිටුව හැමදාම හමුවෙන්න ඕන” රාජිත යෝජනා කළේය.
“දැන් ඔය කමිටුව මාසයකට කී සැරයක් හමුවෙනවාද” මෛත්‍රී ඇසුවේය.
“සතිපතා රැස්වෙලා අපි තීන්දු ගන්නවා” මලික් සමරවික්‍රම උත්තර දුන්නේය.
“ජීවන වියදම් කමිටුවට පෞද්ගලික අංශයත් කැඳවන්න. ඒ අයත් එකතු කරගෙන රැස්වීමක් තියන්න” මෛත්‍රී කීවේ ජීවන වියදම අඩුකිරීමට ගත යුතු පියවර ගැන උපදෙස් දෙමිනි.

Loading...
කැබිනට් කතා එළියට

පළාත් පාලන ආයතනවලට නාම යෝජනා කැඳවීමේදී ඇතිවී තිබෙන ගැටලු ගැනත් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවිය.
“අලුත් පනත අනුව කෘෂි නිලධාරීන්ටයි, සමෘද්ධි නිලධාරීන්ටයි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙන්න බෑ” සුසිල් ප්‍රේමජයන්ත පැහැදිලි කළේය.
සමෘද්ධි නිලධාරීන්ට ඡන්දයට ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා තිබෙනවා. එයා නීතිය අර්ථකතනය කරනවා. එහෙම කරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ වාසියට” පාඨලී චම්පික රණවක මහින්ද දේශප්‍රියට විරුද්ධව අදහස් දක්වන්න විය.
කැබිනට් රැස්වීම අවසන් වන විටම ඇමැතිවරයෙක් මහින්ද දේශප්‍රියට ඇමතුමක් ගෙන චම්පිකගේ කතාව ඔහුගේ කනේ තබා තිබුණේය. ඔහු අනෙක් අතට චම්පිකට ඇමතුමක් ගත්තේය.
“ඔබතුමා කැබිනට් මණ්ඩල රැස්වීමේදී මාව විවේචනය කළා නේද” මහින්ද දේශප්‍රිය ඇසුවේය.
“ඔව්. මම විවේචනය කළා තමයි. වැරදි ප්‍රකාශ කරන්න එපා. වැරදි
අර්ථකතන දෙන්න එපා” චම්පික ඉල්ලුවේය.

මෛත්‍රී මහින්දට කී
රහස මොකක්ද?

පසුගිය වසර දෙකක් තිස්සේ මෛත්‍රීත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් මුහුණට මුහුණ හමුවී තිබුණේ නැත. එහෙත් පසුගිය සතියේදී ඔවුන් දෙදෙනා මුහුණට මුහුණ මුණ ගැසුණේ ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් පසඳ යාපාගේත් හිටපු ඇමැති වීරසිංහ මල්ලිමාරච්චිගේ මිනිබිරියක් වන ජනාසි මල්ලිමාරච්චිගෙත් විවාහ මංගල උත්සවයේදීය.
මහින්දට සාක්ෂියට අත්සන් කරන්නැයි ආරාධනා කර තිබුණේ මනාලියගේ පාර්ශ්වයෙනි. ඔහු එම ආරාධනය භාරගන්නා විටත් මනාලයාගේ පාර්ශ්වයෙන් මෛත්‍රී සාක්ෂියට අත්සන් කරන බව දැන සිටියේ නැත. ඒ බව නොදැන මහින්ද සාක්ෂියට අත්සන් තැබිම භාරගත්තේය. මෛත්‍රී සාක්ෂියට අත්සන් කිරීමට එන බව දැනගත්තද මහින්ද සාක්ෂියට අත්සන් කිරීමට යා යුතු යැයි තීරණයක සිටියේය. එහෙත් මෛත්‍රී සමග මුහුණට මුහුණ හමුවී විවාහයක සාක්ෂිකරුවෙක් වීමට යන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කීමට ඔහුට සිදුවිය. ඔහු ඒ බව කීවේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අවසානයේදීය.
“මට විවාහයක සාක්ෂිකරුවෙක් විදියට අත්සන් කරන්න එන්න කියලා කිව්වා. මම ඒක භාරගත්තා. දැන් ඒකට බැහැයි කියලා කියන්න බෑ. බලාගෙන යනකොට පස්සේ තමයි දන්නේ මනමාලය ලක්ෂ්මන් යාපාගේ පුතා කියලා. දැන් ඉතිං මට ඒකට යන්න වෙනවා” මහින්ද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කී විට ඇතැම් මන්ත්‍රීවරුන්ගේ මුහුණවල සතුටක් තිබුණේ නැත.
කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලයේදී පැවැති විවාහ මංගල උත්සවයට ඒමට පෙර මහින්දට හිල්ටන් හෝටලයේ පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට සහභාගිවීමට තිබුණි. හිල්ටන් හෝටලයේ සිට මහින්ද ෂැන්ග්‍රිල්ලා හෝටලයට කැඳවාගෙන ඒමේ වගකීම පැවැරී තිබුණේ ධනසිරි අමරතුංගටය. ඔවුන් දෙදෙනා එකම වාහනයකින් ෂැන්ග්‍රිල්ලා හෝටලයට පැමිණීමට සූදානම් වුවත් මෛත්‍රී එහි පැමිණ සිටියේ නැත. ඒ නිසා මහින්ද හිල්ටන් හෝටලයේ වෙනත් තැනකට ගොස් තේ පානය කරමින් කාලය ගත කළේය. මෛත්‍රී ෂැන්ග්‍රිල්ලා හෝටලයට පැමිණි බව දැනගත් විට මහින්ද එතැනින් පිටත්වී ආවේය.
“සර් අපේ පැත්තෙන් සාක්ෂියට අත්සන් කරන්නේ මහින්ද මහත්තයා. නැකතට තව විනාඩි දහයක් විතර තියෙනවානේ. එතුමා එනකම් අපි ඉමු”මනාලියගේ පියා මෛත්‍රීට කීවේය.
“හරි හරි... ප්‍රශ්නයක් නෑ. අපි එතුමා එනකම් ඉමු”මෛත්‍රී සිනාමුසුව කීවේය.
විවාහයට අත්සන් කිරීමේ නැකත එකොළහයි පහට යෙදී තිබුණ අතර මෛත්‍රී දහයයි හතළිස් පහ වන විට පැමිණ සිටියේය. මහින්ද ආවේ ඉන් විනාඩි පහකට පසුවය. මහින්ද පැමිණි වහාම මෛත්‍රී සිටි තැනට ගොස් ආයුබෝවන් කියා ආචාර කළේය.
“කොහොමද” මහින්ද ඇසුවේය.
“හොඳින් ඉන්නවා” මෛත්‍රීත් උත්තර දුන්නේය.
මේ අතර මෛත්‍රී මහින්දගේ කනට කර රහසක් කීවේය. ඒ කතාවට මෛත්‍රීට සිනා ගිය නමුත් දෙදෙනාගේ රහස් කතාව කුමක්දැයි කවුරුවත්  දැනගත්තේ නැත.
“මට තවත් මගුල් ගෙදරකට යන්න  තිබුණා. ඒත් මේකට නොගිහින් බැරි නිසා ආවා” මහින්ද කීවේ මෛත්‍රී සමග එකම මේසයේ අසුන් ගනිමිනි.
“මටත් අද ආරාධනා නවයක් තිබෙනවා. ඒත් මෙතැනට එන්න වෙලාව වෙන් කරගත්ත” මෛත්‍රීත් කීවේය.
“අපි දෙන්නා මෙතැන මෙහෙම කතා කරනවා දැක්කාම ඇග්‍රිමන්ට් ගහනවා කියලා හෙට මීඩියාවල යන්න පුළුවන්” මෛත්‍රී කියන විට මහින්දත් සිනාසෙමින් එය අනුමත කළේය.
මේ අතර ලක්ෂ්මන් යාපාගේ වැඩිමල් පුත් ඔසඳ යාපා සිය දියණිය සමග එතැනට පැමිණියේය. මෛත්‍රී දරුවා වඩාගෙන සුරතල් කොට මහින්දට වඩා ගැනීමට දුන්නේය. මහින්ද දරුවා වඩාගැනීමට පෙර දරුවා අඬන්න සූදානමින් සිටිනවාදැයි බැලුවේය.
“වඩාගන්න දරුවන් ඇඬුවත් අපිට බයේ කියලා මාධ්‍යවල යාවි. ඒ නිසා පරිස්සම් වෙන්න ඕන” මහින්ද දරුවා වඩා ගත්තේ එසේ කියමිනි.
දයාසිරි ජයසේකර ඇමැතිවරයාත් එතැනට පැමිණ කතාකරමින් සිටියේය. ටික වේලාවක් කතා කරමින් සිටි මෛත්‍රී එතැනින් පිටත්ව යාමට නැගිට්ටේය.
“මං ආපු වැඩේ හරිනේ. එහෙම නම් මම යන්නම්” මෛත්‍රී කීවේය.
“ඉන් සර්. කපල් එකත් එක්ක ෆොටෝ එකක් ගහලම යමු”
ලක්ෂ්මන් යාපා ඉල්ලා සිටියේය. ඒ අනුව මෛත්‍රීත් මහින්දත් යුවළ සමග එක්ව ඡායාරූපයකට පෙනී සිටියේය.
මහින්ද සෙල්ෆි ඡායාරූප ගැනීමේ මෙහෙයුමකට මැදිව සිටි අතර මෛත්‍රී සෙනග අතරින්ම මහින්ද අසලට ගියේය.
“එහෙම නම් මම යන්නම්” මෛත්‍රී කීවේය.
“හා හොඳයි එහෙනම්” මහින්දත් සිනාසෙමින් මෛත්‍රීට සමුදුන්නේය.
මෛත්‍රී පිටත්ව යාමෙන් පසුවත් විනාඩි විස්සක් පමණ එහි රැදී සිටි මහින්ද පිටත්ව ගියේය. මහින්ද ගොස් ටික වේලාවකින් අගමැති රනිල් වික්‍රමසිංහ එහි පැමිණියේය.
“මොකද දැන් කරන්නේ” එතැන සිටි ධනසිරි අමරතුංග දුටු රනිල් ඇසුවේය
“මම ඉතිං මහින්ද මහත්තයාගේ පැත්තේනේ” ධනසිරි උත්තර දුන්නේය.
“මොකද අර ‍පොඩි පක්ෂවල ප්‍රශ්නයට වුණේ” රනිල් ඇසුවේය.
“‍පොඩි ‍පොඩි ප්‍රශ්න වගයක් තිබුණා. දැන් ඒක විසඳාගෙන යනවා” ධනසිරි උත්තර දුන්නේය.
“මහින්ද අයින් වුණොත් ඔය ‍පොඩි පක්ෂවලට වෙන දේ සොයාගන්න බැරිවෙනවා” රනිල් කීවේ මහින්ද ගැනත් කියමිනි.

ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සමගියක් ඇති කරගැනීමට පත් කළ කමිටුවේ සාකච්ඡා පසුගිය සතියේදී අවසන් කෙරුණේ එකඟතාවයකින් තොරවය. ඒ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට නම් ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂයෙන් දිගින් දිගටම ඉදිරිපත් වෙමින් තිබූ යෝජනා නිසාය. ඒ ගැන තීන්දුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන නොතිබූ අතර නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා ඒකාබද්ධ විපක්ෂයට දැනුම්දී තිබුණේ කොරියානු සංචාරය නිමකර ජනාධිපතිවරයා පැමිණි පසුව මේ ගැන තීන්දුවක් ලබාදෙන බවය.

මේ අතර සී.බි. රත්නායක මන්ත්‍රීවරයාට ඩිලාන් පෙරේරා ඇමැතිවරයා දුරකථන ඇමතුමක් දුන්නේය. ඒ යළිත් වරක් සාකච්ඡා ආරම්භ කිරීමට ඇති හැකියාව ගැන සොයා බැලීමටය.

“අපි එදා කතා කරපු වෙලාවේ කිව්වානේ ආණ්ඩුවෙන් ඉවත් වෙලා ඇවිත් කතා කරමු කියලා” සී.බි. කීවේය.
“නෑ.. නෑ.. අපි ආයෙත් කතා කරමු” ඩිලාන් ඉල්ලා සිටියේය.

“මට ඒ ගැන මොනවාත් කියන්න බෑ. මං මහින්ද මහත්තයාගෙන් අහලා බලන්නම්” සී.බි. උත්තර දුන්නේය.
මේ ගැන සී.බි. මහින්දගෙන් විමසූ විට මහින්ද කීවේ ඒ ගැන පක්ෂ නායක රැස්වීමේදී කතා කර තීන්දුවක් ගත හැකි බවය.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම මහින්දගේ විජේරාම නිවසේදී පැවැත්වුනේය. එයට බැසිල්ද පැමිණ සිටි අතර ඔහු පැමිණියේ පළාත් පාලන මැතිවරණයට තරග කිරිමට අදාල යෝජනා හතරක්ද රැගෙනය. බැසිල්ගේ යෝජනාවලට පක්ෂ නායක රැස්වීමේදී අනුමැතිය ලැබුණ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීමට නැවත ඉදිරිපත් වන යෝජනා ගැන අදහස් මතුවිය.

“ආයිමත් අපිට එකතු වෙන්න කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනාවක් ඇවිත් තිබෙනවා. අපි මේ ගැන කතා කරලා තීන්දුවක් ගනිමු. සී.බි. කියන්න ඒ අයගේ යෝජනා මොනවද කියලා”මහින්ද කීවේය
“ඒකාබද්ධ විපක්ෂයට වාසි තැන්වල වෙනම ඉල්ලලා එක්සත් ජාතික පක්ෂයට වාසි තැන්වල එකට ඉල්ලමු කියලා ඩිලාන් යෝජනා කරනවා. මෛත්‍රීපාල ජනාධිපතිතුමත් මේකට කැමැතියි කියලා ඩිලාන් කියනවා”සී.බි. කීවේය.

“මොකද ඒකට කියන්නේ” මහින්ද ඇසුවේය.

“මේක ගැන අපි තීන්දුවක් ගන්න ඕන. නැතිනම් මේක හෝද හෝද මඩේ දානවා වගේ වැඩක් වෙනවා. අපි එයාලට කිව්වා ආණ්ඩුවෙන් අයින් වෙන්නේ නැතිනම් සාකච්ඡා කරන්නේ නෑ කියලා. ඒක නොකර සාකච්ඡා කරලා වැඩක් නෑ” සනත් නිශාන්ත කීවේය.
“එහෙනම් අපි මන්ත්‍රී කණ්ඩායමෙන් අහලා තීන්දුවක් ගනිමු” මහින්ද කීවේය.
“මම නම් මේ එකතුවෙන එකට එකහෙලාම විරුද්ධයි” ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා කීවේය.
“ඔව් මටත් මේකට එකඟ වෙන්න බෑ” වෙල්ගම කීවේය.
ඒ අනුව මන්ත්‍රී කණ්ඩායම කැඳවා මේ ගැන තීන්දුවක් ගැනීමට සාකච්ඡා විය. සී.බිට ඩිලාන් පාර්ලිමේන්තුවේදී හමුවූ අතර එහිදීද ඩිලාන් කීවේ එකතුවීමට අවශ්‍ය බවය. ඊට පසු දිනයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම කැඳවූ අතර එහිදීද මේ ගැන සාකච්ඡා විය. ඒ අනුව ඩිලාන් යෝජනා කර තිබෙන්නේ ‍පොදුජන එක්සත් පෙරමුණේ පුටුව ලකුණින් තරග කිරීමටය. එහෙත් මේ ආකාරයට එක්වීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ වැඩි කැමැත්තක් නොවීය.

මහින්ද ඉමිටියාස්ට කළ යෝජනාව

මහින්ද පලස්තීන මිත්‍රත්ව සංගමයේ හිටපු සභාපතිවරයාය. ඉමිටියාස් බකීර් මාකර් හිටපු ඇමැතිවරයා පලස්තීන මිත්‍රත්ව සංගමයේ කටුයතු සඳහා ක්‍රියාශීලී දායකත්වයක් ලබාදෙමින් සිටින්නේය. පසුගිය සතියේදී ජෙරුසෙලම ඊශ්‍රාලයේ අගනුවර බවට ඇමෙරිකාව පිළිගැනීමේ ප්‍රවෘත්තිය
පළවීමත් සමග මහින්ද ඉමිටියාස්ට දුරකතන ඇමතුමක් දුන්නේය.

“ඇමෙරිකාව ජෙරුසෙලම අගනුවර කියලා පිළිගෙන තිබෙනවා. මේකට විරුද්ධව අපි විරෝධතාවයක් කරමු” මහින්ද යෝජනා කළේය.
“මොකක්ද කරන්න අදහස් කරන්නේ” ඉමිටියාස් ඇසුවේය.
“අපි පල්ලි ඉස්සරහ විරෝධතාවයක් කරමු” මහින්ද යෝජනා කළේය.
“මෙක මුස්ලිම් ප්‍රශ්නයක් නමෛයි. වෙනත් රටක් ගැන තවත් රටක් ගනිපු තීන්දුවක්. ඒ නිසා මට මේකට එන්න බෑ”ඉමිටියාස් මහින්දගේ යෝජනාව
ප්‍රතික්ෂේප කළේය.
“ඔයා එන්න එපා. මුස්ලිම් පල්ලිවලට මේ ගැන කියලා විරෝධතාවය කරමු” මහින්ද ඉමිටියාස්ගෙන් සහාය ඉල්ලා සිටියේය.
“මේක මුස්ලිම් ගැටලුවක් නොවෙන නිසා පල්ලි ඉස්සරහ විරෝධතා කරන්න ඕන නෑ. මේක මුස්ලිම් ප්‍රශ්නයක් කරගන්නේ නැතිව අපි පුලුල් විරෝධයකට යමු” ඉමිටියාස් අවසානයේදී යොජනා
කළේය.

මනෝ නැගිට යයි

එක්සත් ජාතික පක්ෂ නාම යෝජනා මණ්ඩලය මේ දිනවල රැස්වන අතර කොලොන්නාවේ නාම යෝජනා මණ්ඩලය පක්ෂ නායකත්වය සමග එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයාද සහභාගී වී සිටියේය. කොළොන්නාව නගර සභාවට මුස්ලිම් කොංග්‍රසය අපේක්ෂකයින් තිදෙනෙක්ද, රිෂාඩ් බදියුදීන් අපේක්ෂකින් තිදෙනෙක්ද ඉල්ලා තිබුණි. මේ අතර මනෝ  ගනේෂන් ඇමැතිවරයාද අපේක්ෂකයින් තිදෙනෙක් ඉල්ලා තිබුණි. හෙළ උරුමයද එක් අපේක්ෂකයෙක් ඉල්ලා තිබුණි.
“සර් මෙහෙම ගියොත් මට දාන්න තියෙන්නේ අපේක්ෂකයින් එක්කෙනයි. මට ඒකත් එපා. මේ අයටම දාගන්න දෙන්න” මනෝ ගනේෂන් සිටි තැනම මරික්කාර් රනිල්ට කීවේය
“මොකක්ද ප්‍රශ්නය” රනිල් ඇසුවේය.
“නෑ සර්. සභාවේ ඉන්නේ අපේක්ෂකයෝ එකලොස් දෙනයි. ඒ අයගෙන් දහ දෙනෙක් මේ අය දැම්මාම මම කවුද දාන්නේ” මරික්කාර් ආවේගයෙන් ඇසුවේය
“අපේ එක මන්ත්‍රී කෙනෙක් දැනටම ඉන්නවා. ඒ නිසා අපට තුන් දෙනෙක් දාන්න දෙන්න ඕන” මනෝ කීවේය.
“එක්කෙනක් ඉන්නවා නම් අපි එක්කෙනෙක්ට අවස්ථාව දෙන්නම්” මරික්කාර් කීවේය.
“එහෙම කරන්න බෑ. අපිටත් අවස්ථාව තියෙන්න ඕන” මනෝ ආවේගයෙන් නාම යොජනා මණ්ඩලයෙන් නැගිට ගියේය.

ප්‍රශ්න තියෙනවා නම් විජිතට කියන්න

පසුගිය 06 වැනිදා අයවැය විවාදය යෙදී තිබුණේ ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන අමාත්‍යාංශ පිළිබඳවය. එදින ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් විවාදයට එක් වුණේ විජිත හේරත් මන්ත්‍රීවරයාය. විජිත හේරත් මන්ත්‍රීවරයා සිය කතාව අතරතුර පළාත් පාලන මැතිවරණය කල් යෑම පිළිබඳවද විවේචනය කළ අතර ෆයිසර් ඇමැතිවරයා සමග උණුසුම් විවාදයක්ද ඇති විය. අනතුරුව කෑම පැයේදී විජිත හේරත් මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් පිරිසක් සමග එදින විවාදය පිළිබඳවත් ඇති වූ උණුසුම් තත්ත්වය පිළිබඳවත් කතාබහ කරමින් සිටියේය. ඒ මොහොතේදී විවාදයට පැමිණ සිටි දිස්ත්‍රික් ‍ලේකම්වරුන් පිරිසක් සමග වජිර අබේවර්ධන ඇමැතිවරයාද නිල කාමරයෙන් පිටතට පැමිණෙන අතර විජිත හේරත් මන්ත්‍රීවරයා දැක ඔබතුමාලගේ තියෙන ඕනෑම ප්‍රශ්නයක් විජිත හේරත් මන්ත්‍රීතුමාට කියන්න. එතුමා මැදිහත් වෙලා විසඳලා දෙයි වජිර අබේවර්ධන ඇමැතිවරයා දිස්ත්‍රික් ‍ලේකම්වරුන්ට කියා සිටියේය. විජිත හේරත් මන්ත්‍රීවරයා සිනාමුසු මුහුණින් එයට ප්‍රතිචාර දැක්වීය. ඇමැතිවරු හිටියට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තමයි ප්‍රශ්න විසඳන්න වෙලා තියෙන්නේ මාධ්‍යවේදියෙක් කියා සිටියේය.

තිලකජය

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News