Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

ඇමෙරිකාවේ ජනාධිපති ධුරය දෙව තාවක් ඉසිලූ බැරක් ඔබාමා විශ්‍රාම ගැනීම හෙවත් බලය අත්හැරීම සම්බන්ධ කාරණාව විදේශීය මාධ්‍ය ඔස්සේ වාර්තා කළ අන්දම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම සිදු වූයේ ප්‍රහර්ෂයෙන් තබන ලද සටහන් සමඟිනි. බි්‍රතානයේ අග්‍රාමාත්‍යවරයා වූ ඬේවිඞ් කැමරන් සම්බන්ධ පුවත් ද ඒ හා සමානය. ඔහු බලය අත් හරින්නේ ජන මතයට හිස නමා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අගමැති පදවිය පරිත්‍යාග කළ පරමාදර්ශී ගතිපැවතුම් විදහා දක්වමින් බවට ලියා තිබුණ සටහන් ද අපමණය. මේ දෙදෙනාටම නිදහස් මනසකින් බලය අත් හරින්නට හැකිවීමට මුල් වූ ප්‍රධාන හේතුව ලෙස කෙනෙකු තබන ලද සටහන් දෙකක් මෙසේය.

1. “කැමරන් මෙන්ම ඔබාමා තම අඹු දරුවන්ට හා පරම්පරාවන්ට ජනතාව බලය ලබා දී නැති බව දැන ගෙන රාජ්‍ය පාලනය කළ බැවින් බලය අත් හරින්නේ නිදහස් නිර්භීත මහත්වරුන් ලෙසය” 2. “කැමරන් නියම සුද්දෙකුගේ හැටි පෙන්වීය. ඔබාමා නියම මහත්මයෙකුගේ හැටි පෙන්වීය. දෙන්නාම හොඳින් බුද්ධ ධර්මය දැන සිටි බවට නම් සැකයක් නැත”

කැමරන් සහ ඔබාමා ගැන ගෞරවයෙන් තබන ලද සටහන් ඔස්සේ කැපී පෙනුණ කාරණාවක් වූයේ මේ නායකයන් දෙදෙනා ස්වාමි පුරුෂයන් ලෙස හා පියවරුන් ලෙස ලෝකයට ලබා දී තිබුණ ආදර්ශයයි. එමෙන්ම මේ දෙදෙනා බලය අත් හැරීම සම්බන්ධව තබන ලද සටහන් සමඟින් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබුණේ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ අඹුදරුවන්ය. ඇතමුන් ඒකාබද්ධ විපක්ෂය වෙතම අවධානය යොමු කර තිබිණි.

අසීමාන්තික බල කාමය
බලය අහිමි වුණ දා සිට බල උමතුවෙන් මහින්ද රාජපක්ෂ කළ හා කරන කටයුතුවල කෙළවරක් නැත. උත්ප්‍රාසය නම් ඔහු සියල්ල කරන්නේ ආගම දඩමීමා කරගෙන වීමයි. පන්සල කේන්ද්‍ර කර ගත් මහින්ද රාජපක්ෂගේ දේශපාලනය ඇතුළෙන් මතු වෙන්නේ භික්ෂූන් වහන්සේලා බහුතරයකගේ අන්ත පරිහානියයි. බොහෝ භික්ෂූන් වහන්සේලා පෙනී සිටින්නේ ධර්මය වෙනුවෙන් නොව, බලය වෙනුවෙනි. රාජ්‍ය පාලනය කළ යුත්තේ ආගම මත ද? නීතිය මත ද? නීතිය මත රට පාලනය කරන විට ආගම හෙවත් දහම නිරුත්සාහකව බබළන් නේය. ලංකාවේ ආගමික නායකයන් රාජ්‍ය පාලකයන්ට බල කළ යුත්තේ රාජ්‍ය පාලනය නීතිය මත සිදු කළ යුතු බවයි. ආගමික නායකයන් ඒ දේ සිදු නොකරන බැවින් ආගම දඩමීමා කරගෙන ආගම හෙවත් දහම විනාශ කර දමන්නේය. පසු ගිය කාලයේ මිනීමරුවන් හා අන්ත දූෂිතයන් නීතිය අබිමුව නිරුවත් වන විට භික්ෂූන් වහන්සේලා පාරට බැස්සේ, පිරිත් නූල් බැන්දේ කවර ආගමික ඉගැන්වීමකට අනුව දැයි සිතා ගැනීමට නොහැකිය.

ආණ්ඩුව පෙරළීම
ප්‍රජාතන්ත්‍රවාදය මත පාලනය වන රටක මහජන වරමක් ලද ආණ්ඩුවක් පරාජයට පත් කළ යුත්තේ ද මහජන වරමකිනි. ආණ්ඩුවක් පරාජය කළ යුත්තේ කවර මොහොතක ද? ජනතාවට ලබා දුන් ප්‍රතිඥා ඉටු නොකර තමන්ට අභිමත අන්දමට, නීතියට පටහැනිව නායකයන් රාජ්‍ය පාලනය කරන විටකය. ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතක් පැහැදිලිව ඇත. ඒ පිළිවෙත වන්නේ ජනතාවට අවබෝධයක් ලබා දෙමින් නිසි අවස්ථාවේ දී ජන වරමක් ලබා ගැනීමට විපක්ෂය ශක්තිමත් වීමෙනි. ඒ සඳහා විපක්ෂය තම අනන්‍යතාව ප්‍රථමයෙන් විදහා දැක්විය යුතුය. ඒකාබද්ධ විපක්ෂයේ නිල නායකයා දිනේෂ් ගුණවර්ධන වුව, නියම නායකයා මහින්ද රාජපක්ෂයි. මහින්ද රාජපක්ෂ විතරක් ද? නැත. බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ඇතුළු රාජපක්ෂ පවුලම, රාජපක්ෂ පරපුරම ආණ්ඩුව පෙරළා දැමීමේ උවමනාවෙන් මඬනා ලද්දෝ වෙති. මොවුන් රාජ්‍ය පාලනයේ නිමග්න වුණ අන්දම අද අමතකව තිබෙන්නේ ඇතැම් භික්ෂූන් වහන්සේලාට සහ ඇතැම් ජන මාධ්‍යවලට පමණි. මොවුන් රාජ්‍ය පාලනය කළ අන්දම මේ රටේ නීති ගරුක පුරවැසියන්ට අමතක වන්නේ නැත. නැවත ජන වරමක් වෙනුවෙන් පෙනී සිටීමට ඒකාබද්ධ විපක්ෂයට සදාචාරාත්මක අයිතියක් තිබේ ද? දූෂණ චෝදනා නැති කීදෙනෙකු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන්නේ ද?

රාජපක්ෂ පවුලට නැවත රාජ්‍ය පාලනයට මහජන වරමක් ලැබෙනු නැත. ජනවාරි 08 වෙනිදායින් පසුව හෝ ලංකාව නීතිය මත පාලනය කරන රටක් බවට පරිවර්තනය වී නම්, ආණ්ඩුව පෙරළීමට වෙර දරන රාජපක්ෂ පවුලම මේ වන විට සිර ගතව සිටිය යුතු බව පැහැදිලි කරුණකි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන බහුතරයකට දූෂණ චෝදනා අපමණය. නිතර ජන මාධ්‍යවල ඉඩ හසර හිමි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කිසිවෙකුට පිරිසිදු දේශපාලන චරිතයක් නැත. අභාග්‍යය වන්නේ වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු රාජපක්ෂ පාලන සමයේ සිටි දූෂිත අමාත්‍යවරුන් අබිබවා යන අන්දමට දූෂණයේ නිමග්නව සිටීමයි. මේ දූෂිත අමාත්‍යවරුන් සම්බන්ධ යෙන් තීන්දුවක් ගැනීමට ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා අසමත් වුවහොත් දූෂිත බලවේගය බල අරගලය තුළ තව තවත් ප්‍රබල වනු ඇත. අන්ත දූෂිත අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සම්බන්ධව කරුණු කාරණ ඉර හඳ මෙන් පැහැදිලිව තිබියදීත් අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයා නිහඬව සිටින අන්දම කනගාටුදායකය. මේ නිද්‍රාශීලී පිළිවෙත හේතුවෙන් පුරවැසියන්ගේ අප්‍රසාදයට බඳූන් වන්නේ නායකයන් දෙපළ බව කිව යුතු නැත.

ආණ්ඩුව ගිනි තපින හැටි
කවුරුන් වුව ගිනි තපින්නේ හීතල අඩු කර ගැනීමට බව අපි දනිමු. ගිනි තැපීම තුළ අලස බවක් ද පවතී. ජනවාරි 08 වෙනිදාට පෙර පැවති ආණ්ඩුවේ මහජන නියෝජිතයන්ගෙන් බහුතරයක් සිටියේ සීතලේ ගැහෙමින්ය. බැසිල් බලය, නාමල් බලය, ගෝඨා බලය ආදි නානා විධ බල මුළු ගැන තිබුණ අවබෝධය නිසා ඔවුහු සීතල විඳ දරා ගත්හ. එහෙත් මහින්ද රාජපක්ෂ ඔවුන්ට සීතලේ මියැදෙන්නට ඉඩ හැරියේ නැත. ඔවුන්ගේ ඉහ මොළ රත් කරමින් රැක බලා ගැනීමට ඔහු සමත් විය. ජනවාරි 08 මහජන වරමක් ලද අලුත් පාලකයන් වැඩ පටන් ගත්තේ කෙසේ ද? ගිනි තපිමින් අලස සුව විඳිමින් යයි සිතේ.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට නාම යෝජනා ලබා ගන්නේ කෙසේ ද? මහජනතාව දෙවතාවක් පරාජයට පත් කළ පුද්ගලයා යළි ජනතාව අබිමුව නැඟී සිටින්නේ කෙසේ ද? ආණ්ඩුව ආරම්භයේ සිටම ගිනි තපිමින් අලස සුවයක කිමිදී සිටින බැවිනි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක රට පාලනය කරන විට මහින්ද රාජපක්ෂ ද ගිනි තපිමින් සිටි බව නොරහසකි. එනමුත් ජනාධි පතිවරණයට ශ්‍රීලනිපයෙන් මහින්ද රාජපක්ෂ නාම යෝජනා ලබා ගැනීමෙන් අනතුරුව ඔහු ගිනි තැපීම අත් හළේය. බලය අතට ගත් වහාම කළේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය පක්ෂයෙන් පමණක් නොව රටින් ද පළවා හැරීමය. සිය සුමිතුරු සරත් නන්ද සිල්වා ලවා කණේ පාරක් ද ගැසුවේය. දෙවන වතාවට ජනාධිපති තරගයට පෙනී සිටි මහින්ද රාජපක්ෂ සිය ප්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකා බල රහිත චරිතයක් කොට හිරගත කළේය. තමාට ඉහළින් නීතිය තිබෙන බවට කිසියම් මොහොතක දී සංඥා කළ අගවිනිසුරුවරිය බල රහිත චරිතයක් බවට පත් කළේය. ඔහු එහි දී ගුරුහරුකම් ලබා ගත්තේ ජේආර් ජයවර්ධනගෙන් වුව ජේආර් අබිබවාලීමට ද සමත් විය. ජේආර් තමන්ට අවශ්‍ය අන්දමට රට පාලනය කිරීම සඳහා බින්දුවටම පරාදව සිටි බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය ද අහෝසි කරමින් ඇය අවලංගු කාසියක් බවට පත් කළේය. ඇගේ සමීපතම අමාත්‍යවරයෙකු වූ පීලික්ස් ඩයස් ද බල රහිත පුද්ගලයෙකු බවට පත් කළේය. ඉක්බිතිව ඔහු තමන්ට අබිමත ගමන වේගයෙන් පටන් ගත්තේය.

ජේආර්ගේ රාජ්‍ය පාලනය මෙන්ම, ජේආර් අබිබවන ලද මහින්ද රාජපක්ෂගේ රාජ්‍ය පාලනය ද ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මවලට පටහැනි බව කිව යුතු නොවේ. මේ රටේ නීති ගරුක පුරවැසියන් එබඳු රාජ්‍ය පාලනයක් අපේක්ෂා කරන්නේ නැත. නීති ගරුක පුරවැසියන් අපේක්ෂා කරන්නේ නීතිය මත සිදු වන රාජ්‍ය පාලනයකි. අලුත් ආණ්ඩුවෙන් පුරවැසියන් අපේක්ෂා කරන්නේ නීතිය මත පාලනයකි. වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අනුදත් රාජ්‍ය පාලනය නීතිය මත පවතින පාලනයක් ද? ඒ බව නොපෙනේ. දූෂිත භික්ෂූන් වහන්සේලාට, සාපරාධී මනුෂ්‍ය ඝාතන සිදු කළ හමුදා නිලධාරීන්ට, මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ පුමුඛ රාජපක්ෂවරුන්ට සහ ඔවුන්ගේ ගජමිතුරන්ට එක නීතියකුත්, සාමාන්‍ය ජනතාවට තව නීතියකුත් පවතින රාජ්‍ය පාලනය සහ මහින්ද රාජපක්ෂගේ පාලනය අතර වෙනස කුමක් ද?
විපරීත වුණ හා කඩා බිඳ දමන ලදරාජ්‍ය පාලනයක් පැවති රටක, ශිෂ්ට සම්ප්‍රදායන් අහිමි අවකාශයක, එක රැයකින් නීති ගරුක රාජ්‍ය පාලනයක් ගොඩ නැඟීම අසීරු බව කිව යුතු නොවේ. එහෙත් මේ වන විට ආණ්ඩුව බලයට පත්වී දෙවසරක් ගතවී හමාරය. ආණ්ඩුව කරන්නේ ‘ගිනි තැපීම’ ය. එය ඛේදයකි. ආණ්ඩුවේ ගිනි තැපීම නිසා පුරවැසියන්ට විමාන වන්නේ අද රාජ්‍ය පාලනයක් නොමැති බවකි. ඒ චෝදනාවට ආණ්ඩුව බඳූන් වන්නේ කවර කාරණා නිසා ද?

ජනාධිපතිවරයාගේ තීන්දුව
දූෂිත කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සම්බන්ධව ජනාධිපතිවරයා දැනුවත්ව සිටින බව නීති ගරුක පුරවැසියන්ගේ විශ්වාසය වන්නේය. දූෂිත අමාත්‍යවරුන් වහාම අමාත්‍ය පදවිවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. එහෙත් ජනාධිපතිවරයා තනි තීන්දුවකට නොයන බව පැහැදිලිය. ඊට හේතුව කුමක් ද? ඒ අන් කිසිවක් නොව, තමා ජනාධිපති පදවියට පත් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා කළ කැප කිරීම ගැන කෘතවේදීතාවයි. මේ නිසා ජනාධිපතිවරයා ගැටුමකට නොයන බව ඉතා පැහැදිලිය. ඒ කෘතවේදීතාව හෙවත් යහ ගුණය අගමැතිවරයා අවභාවිත නොකළ යුතුය. එය අවභාවිත කිරීම කිරීම බරපතළ වරදකි, අපරාදයකි.

යහ පාලනයක් ගොඩ නැඟීම අගමැතිවරයාගේ අවංක අභිලාෂය නම්, තම පක්ෂයේ ප්‍රබලයන් සම්බන්ධයෙන් වුව එල්ලවී තිබෙන දූෂණ චෝදනා සලකා බලා නිර්භීත තීන්දු තීරණ ගත යුතුව තිබේ. එසේ නොගතහොත් අගමැතිවරයාට ජන විඥානයේ තිබුණ කීර්ති නාමය නැත්තටම නැතිවී යන්නේය.
ගජ මිතුරන් සමඟ රාජ්‍ය පාලනය පිළිකුල් කළ ජනතාවක් නැවත එබඳු රාජ්‍ය පාලනයක් අපේක්ෂා කරන්නේ නැත.

ජනාධිපතිවරයා කිහිප වතාවක්ම අවධාරණයෙන් පවසා සිටියේ තමා දූෂණයට විරුද්ධව තීන්දුවක් ගෙන ඒ ක්‍රමය පරාජය කළේ නැවත එබඳු ක්‍රමයක් ඇති කිරීමට නොවන බවයි. අද දවසේ ජනාධිපතිවරයාට විශද වන්නේ තම අභිමතාර්ථයට පටහැනි දේවල් දිගින් දිගටම සිදුවීම නම්, නිහඬ පිළිවෙත ඉතා නරකය.
19 වෙනි සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලය පත් කිරීමේ දී අගමැතිවරයාගේ විමසීම වැදගත් බැවින් ජනාධිපතිවරයා තනි තීන්දු කරා නොයන බව පෙනී යයි. මෙහිදී කිව යුතු කාරණාව වන්නේ අගමැතිවරයාගේ විමසීම සිදු කළ පසුව ප්‍රතිචාරයක් නැතිනම් ආණ්ඩුවට ඉදිරි ගමනක් නැති බවයි. එවැනි තත්වයක් පවතින්නේ නම්, ජනාධිපතිවරයා රට වෙනුවෙන් සිතා බලා තීන්දු තීරණ ගත යුතු වන්නේය. ඒ වු කලි මේ රටේ නීති ගරුක පුරවැසියන්ගේ ඉල්ලීම වේ. නිර්භීත තීන්දු ගන්නා නායකයා වෙනුවෙන් පෙනී සිටීමට, ඔහු වෙනුවෙන් අවශ්‍ය කවර කැපකිරීමකට වුව නිසැකව නීති ගරුක පුරවැසියෝ සිටිති.

එජාපයේ අර්බුදය
දීර්ඝ කාලයක් රාජ්‍ය පාලනයේ නොසිටි බැවින්දෝ එජාපය, රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් මොකක්දෝ ආධුනික බවක් පෙන්නුම් කරයි. දීර්ඝ කාලයක් එජාපයේ ප්‍රබලයන් විපක්ෂයේ සිටීමත්, වියපත්ව සිටීමත් නිසාදා් ඇතැමුන් හුස්ම නාල්ලා හරිහම්බ කිරීමේ ව්‍යායාමයක නිරතව සිටින බවක් ද පෙනේ. අගමැතිවරයාට මේ තත්වය කළමනාකරණය කර ගත නොහැකි ද?

රනිල් වික්‍රමසිංහ මහතා තරම් නායකත්වය සම්බන්ධ අර්බුදවලට මැදි වුණ තවත් කෙනෙකු නැතැයි කිව හැකිය. කෙසේ හෝ සියලු අභියෝග මැද ඔහු නායකත්වය ආරක්ෂා කර ගත්තේය. ඒ සඳහා උපකාර කළ ප්‍රබලයන් ද සිටිනවා විය හැකිය. තමා පක්ෂයේ නායකත්වය ආරක්ෂා කර ගත්ත ද, නිසි තින්දු තීරණ ගැනීමට පියවර ගතහොත් කිසියම් මොහොතක බලය බිද වැටෙන්නට හේතු සාධක ඇතැයි සැකයක් එතුමාගේ සිතේ තිබෙන්නේ දැයි සිතේ. ඒ සැකයට හා අවිනිශ්චිතතාවට අදාළ කාරණාවක් විiමාන වේ. ඒ අන් කිසිවක් නොව අගමැතිවරයා තමන්ට සමීපතම කිහිප දෙනෙකු සමඟ පක්ෂය සම්බන්ධව පමණක් නොව, රාජ්‍ය පාලනය සම්බන්ධව ද කටයුතු කරන්නේය යන්නයි. දක්ෂ පසු පෙළක් අද එජාපය තුළ සිටිය ද, ඔවුන් වට මේසයට නොකැඳවීමේ පිළිවෙතක් තිබේ යයි චෝදනාවක් ඇත. මේ චෝදනාව බැහැර කළ නොහැකි තත්වයකට මෝරා වැඩී තිබෙන්නකි. මේ සංකීර්ණ කාරණාව අගමැතිවරයාට කිසිවෙකු නොපැවසීම ද සියල්ලට වඩා භයානකය.

මහින්ද රාජපක්ෂ පොහොට්ටුවෙන් පක්ෂයක් තනා, දුර්වල චරිතයක් නාමික සභාපතිවරයා බවට පත් කර සිදු කරන්නේ, දෙපැත්තෙන්ම කෙළවෙන අයට නිවහනක් තනා තිබීමය. මේ දීන කටයුත්ත, එහි කුරිරු අරමුණ අගමැතිවරයාට පමණක් නොව ජනාධිපතිවරයාට ද අදාළ බව නොරහසකි. එහෙත් ඒ තත්වයට, එනම් මහින්ද රාජපක්ෂව ශක්තිමත් කර තිබීම සම්බන්ධ තත්වයට, අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයා ද වග කිව යුතු බව ද අමතක නොකළ යුතුය. රාජ්‍ය පාලනයේ දී තීන්දු තීරණ ගැනීම ප්‍රමාද කරමින් ද, ගිනි තපිමින් ද, කල් මැරීම තුළ සිදු වන්නේ බලකාමයෙන් මත්ව සිටින්නා පෙරමං බැලීිම බව කිව යුතුය.

මහාචාර්ය සරත් විජේසූරිය

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News