Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

T R E N D I N G

Sponsor

Loading...

ලිපි එකතුව

වර්තමාන තරුණියන් වැඩි පිරිසක් රැකියාවක යෙදෙයි. එයින් බොහෝ දෙනකු මානසික ආතතියකින් පෙළෙන බව මුසාවක් නොවේ. මෙය රැකියාවේ යෙදෙන පිරිමින්ටද පොදුය. වැඩ අවසන්ව නිවෙසට එන්නේ හෙම්බත් වෙලාය. පොරොන්දම් සීයට සීයක් ගැළපුණත් ඒ තත්ත්වයට ඔරොත්තු දෙන්න හැකියාවක් තිබිය යුතුය. විවාහය කියන්නේ ඉල්ලන කොළේ වැටේදැයි බලන්න කරන 'බූරුවා ගැහිල්ලක්' නොවේ. මගේ අත්දැකීම් අනුව අද පෙම්වතුන් වැඩි දෙනකු සිය ආදර සබඳතාව මවුපියන්ට දන්වන්නට පෙර කාටත් හොරෙන්ම ජේ‍යාතිෂවේදියකු හමුවන්නට ගොස් පොරොන්දම් පරික්ෂා කරවා ගනිති.

තවත් කොටසක් පරිගණකයේ මෘදුකාංග ලබා දෙන වාර්තාව සත්‍ය වාර්තාවක් යැයි සම්මත කරගෙන ඒ ඔස්සේ දුවති. පරිගණකයෙන් පොරොන්දම් ගැළපිය හැකි වුවත් හඳහන්වල පවතින විවාහ දෝෂ පරික්ෂා කිරීමට එය දක්ෂ නැත. ඊට හේතු වන්නේ විවාහ දෝෂ භංග වන පිහිටීම් ඇති නිසාය. ගුරුගේ හෝ බුධගේ දෘෂ්ටියට ලක්වීමෙන් හෝ යෝග වීමෙන් කුජගේ භෞම දෝෂ භංග වන බව ජේ‍යාතිෂ මතයකි. එය විග්‍රහ කර බලන්න තරම් පරිගණක මෘදුකාංග සමත් නොවන බව මාගේ නිරීක්ෂණයන්ගෙන් පෙනී ගොස් ඇත. පරිගණකයෙන් ලබා ගන්නා පොරොන්දම් ගැළපීම සමඟ හඳහන්ද ජේ‍යාතිෂවේදියකු පරීක්ෂා කිරීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි. එක්තරා මෘදුකාංගයකට අනුව කාන්තාව ස්ත්‍රී ලිංග නැකැතක හා පුරුෂයා පුරුෂ ලිංග නැකැතක වීම අසුබ යැයි දැක්වෙයි. මෙය සිනාවට කරුණකි. 

සමහර මවුපියෝ තරුණ වියට පත් දූ දරුවන්ට හඳහනේ විවාහ දෝෂ තිබේ නම් කලින්ම දැනුවත් කරති. එවිට ඔවුන් පෙම් බඳින්නට පෙර යම් විමසිල්ලක් කරන බවද පෙනී යයි. භෞම දෝෂ, ශනි-මංගල යෝගය වැනි විවාහ නාශක යෝගයන්ට එහා ගිය තවත් සීහුම් බැලිය යුතුය. මා විස්තර කරන්න යන්නේ ඒ සම්බන්ධයෙනි. කාන්තා හඳනක රවි සිටින රාශියේ පුරුෂයාගේ හඳහනේ චන්ද්‍රයා පිහිටා ඇත්නම් ඒ විවාහය ස්ථිර වාසනාවන්ත එකකැයි කියැවෙයි. මෙය පහදා දීම සඳහා උදාහරණයක් දක්වතොත් කාන්තාවකගේ රවි පිහිටා ඇත්තේ වෘෂභ රාශියේ නම් පිරිමියාගේ චන්ද්‍රයා වෘෂභ රාශියේ පිහිටීමෙන් මෙම සුබදායක තත්ත්වය ඇති කරයි. එසේම පිරිමි හඳහනෙහි රවි සිටින රාශියෙහි කාන්තාවගේ චන්ද්‍රයා පිහිටීමද වෙනස් නොවන යහපත් විවාහයක් සිදුවන බව පෙන්වන්නකි. එක් හඳහනක සූර්යයා පිහිටා ඇත්තේ අනෙක් හඳහනේ චන්ද්‍රයාගෙන් 3, 5, 9 හෝ 11 යන ස්ථානයක නම් එම විවාහයද වාසනාවන්ත වන බව ජේ‍යාතිෂයේ සඳහන්ය. 

චර රාශිවල උපත ලබා ඇති අයට තිර රාශි හිමියන් ඉතා යහපත් ආකාරයෙන් ගැළපේ. එසේම තේජෝ රාශීන්ට වායෝ රාශිවල උපන් අයද සුදුසුය. පඨවි රාශිවලින් උපත ලැබූවන්ට ආපෝ රාශීන්හි උපත ලැබූවෝ ගැළපෙති. මෙය සාමාන්‍ය අර්ථයෙන් කියන්නේ නම් පොළොවට ජලයත්, ගින්නට වාතයත් මෙන් සිදුවන තත්ත්වයකි. පොළොවේ පැවැත්මට ජලය අත්‍යවශ්‍ය වන්නාක් මෙන් ගින්නේ පැවැත්මට වාතය අත්‍යවශ්‍ය වෙයි. එහෙත් තේජෝ හා ආපෝ නොගැළපෙන්නේ ගින්දරට ජලය වැටීමෙන් නිවී යන නිසාය. එවැනි දෙදෙනකු විවාහ වූ විට යහපත් පැවැත්මට බාධා සිදුවන හෙයින් දෙදෙනා අතර අඬදබර, අදහස් ගැටුම් ආදිය නිසා විවාහය අවසන් වීමේ ඉඩ පවතියි. පොරොන්දම් පරික්ෂාවේදී මෙවැනි ග්‍රහ තත්ත්වයන් පරික්ෂා කරන්නේ කී දෙනාද? 

ජේ‍යාතිෂයේදී චන්ද්‍රයා මව මෙන්ද, රවි පියා මෙන්ද සැලකේ. හඳහනක මේ දෙන්නා දුර්වල වී පිහිටා ඇත්නම්, පාප පීඩිතව ඇත්නම් එය යහපත් පිහිටීමක් නොව්. මේ ආකාරයෙන් තරුණයාගේත්, තරුණියගේත් දෙදෙනාගේම හඳහන්වල දෙදෙනාගෙන් එක් ග්‍රහයකු හෝ දෙදෙනාගේම හෝ විශේෂයෙන්ම ශනිගෙන් හෝ කුජගෙන් පීඩාවට පත්ව ඇත්නම් එම විවාහය සාර්ථක වන්නේ නැත. දෙදෙනාගෙන් එක් අයකුගේ හඳහනක චන්ද්‍රයා කුජගෙන් නරක ස්ථානයක පිහිටා කුජගේ දෘෂ්ටිය ලබයි නම් එම විවාහය කඩාකප්පල් වීමට ඇති ඉඩ වැඩිය. ඒ ආකාරයෙන්ම රවි ශනිගෙන් නරක ස්ථානගතව ශනිගේ දෘෂ්ටියට ලක්වේ නම් ඒ දෙදෙනාගේ විවාහයේ අවුල් ඇති කළ හැකියි. පාප ග්‍රහයන් වශයෙන් සැලකෙන රවි, කුජ, ශනි, රාහු හෝ කේතු යන ග්‍රහයන්ගෙන් එකෙකු පස්වැන්නේ පිහිටා ඇත්නම් වග විභාග නොකොට ආදරයක් අරඹන්නා වූ කෙනකු වීමට හොඳට ඉඩ තිබෙන බව සමහර ජේ‍යාතිෂ ග්‍රන්ථයන්හි සඳහන්ය. 

පොරොන්දම් ගැළපේ නම් ඊළඟට අහන්නේ විවාහයට හොඳ කොයි කාලයද යන ප්‍රශ්නයයි. එක් අයකුට හෝ සෙනසුරු ඒරාෂ්ටකය පවතින්නේ නම් විවාහ වීම අයහපත්ය යන අදහස තර්කානුකූලව අසාධාරණ වූ නිගමනයකි. යම් තරුණියකට වයස 27 වන විට සෙනසුරු ඒරාෂ්ටකය ලැබුවේ නම් ඇයට විවාහයක් සඳහා ගැළපෙන තරුණයකු හමු වූයේ මේ වකවානුවේ නම් වසර හතහමාරක් පවතින ඒරාෂ්ටකය අනුව ඇය එතෙක් කල් අවිවාහකව ගත කළ යුතුද? එවිට වයස 34ක් වෙයි. චන්ද්‍රයාගේ පිහිටීම අනුව ජන්ම ඒරාෂ්ටකයත් ඒ සමඟම පැමිණේ නම් කාලය තවත් දිගු විය හැකියි. එහෙයින් මගේ අත්දැකීම් අනුව නම් දෙදෙනාගෙන් එක් අයකුට ඒරාෂ්ටකය පැවැතීම විවාහයට බාධාවක් නොවේ. එහෙත් තරුණයාගේ හෝ තරුණියගේ මහ දශාව පාපයකුගේ නම් එම අදාළ ග්‍රහයා අනෙක් තැනැත්තාගේ ලග්නයේ ගමන් කරන කාලය නම් විවාහයට සුදුසු නැත. එහෙත් පුර චන්ද්‍රයා, බුධ, ගුරු හෝ සිකුරු යන සුබ ග්‍රහයන් ඒ ආකාරයෙන් පිහිටන වකවානුවක සිදුවන විවාහ ඉතා වාසනාවන්තය. 

ජේ‍යාතිෂයේදී විස කන්‍යා යෝගය යනුවෙන්ද යෝගයක් භාවිතයේ පවතියි. දෙවැනි තිථිය යෙදෙන පෝයෙන් පසුව දෙවැනි දින, තවත් පැහැදිලිව කියනවා නම් ජලවක දින අස්ලිස නැකැත යෙදී තිබුණොත්, එදා ඉරිදා දිනයක්ද වේනම් එදාට උපන් තැනැත්තිය විස කන්‍යාවක් වෙයි. සතවක යෙදෙන සෙනසුරාදා දිනයක කැති නැකැත උදාවේ නම් එදින උපදින්නේද විස කන්‍යාවකි. අඟහරුවාදා දිනයක සියාවස නැකැත හා පවතියි නම් එදින බිහිවන ගැහැනු දරුවාද විස කන්‍යාවකි. රවි, කුජ හෝ ශනිගේ රාශියක උපත ලද කාන්තාවකගේ හඳහනේ ලග්නයේම නැතහොත් 1 වැනි කොටුවේ පාපයෙක්ද, හයවැන්නේ පාපයන් දෙදෙනකුද සිටියහොත් ඇයද විස කන්‍යා යෝගයෙන් උපත ලැබූ සේ සැලකේ. ලග්නයේ ශනිත්, රවි පහේත්, කුජ නවයේත් සිටියදී උපන්නොත් ඇයද විස කන්‍යාවක් ලෙස වර්ග කෙරේ. මෙහිදී ජේ‍යාතිෂයේ පවතින යම් අඩුපාඩුවක්ද පෙනේ. එනම් කාන්තාවන්ට මුහුණදීමට සිදුවන විස කන්‍යා යෝගය පුරුෂයන්ටද බලපාන්නේ නැතිද යන ප්‍රශ්නයයි. මුල් යුගයේ ඉන්දීය ජේ‍යාතිෂය පැවැත්තේ බමුණන් අත බැවින්ද, ඔවුන් කාන්තාවන් පහත් යැයි සැලකූ පිරිසක් හෙයින්ද මේ තත්ත්වය පැවතීගෙන එනවා වන්නට පුළුවන. එසේ නොවන්නට විස කන්‍යාවන් පමණක් නොව විස තරුණයන්ද සිටිනවා ඇත. 

විවාහය කෙරෙහි බලපාන තවත් ග්‍රහ යෝගයක් වන්නේ සිකුරු සමඟ රාහු හෝ ඔවුන් සමඟ කුජද එකතු වීමයි. මෙවැනි පිහිටීමක් සහිත වූවෝ ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොරව පහසුවෙන් දික්කසාදයට යොමු වන්නෝය. එක් වරක් පමණක් නොව දෙවරක් දික්කසාද වූ අයද මට හමුවී තිබේ. ශනිමංගල යෝගයට ප්‍රතිකර්මයක් තිබුණද අනෙක් භෞම දෝෂ හෝ සිකුරු, රාහු දෝෂයට පිළියමක් ජේ‍යාතිෂයෙහි දක්වා නැත. භෞම දෝෂ පවතින හඳහනක් සඳහා එවැනිම දෝෂයක් සහිත වූවන් සෙවිය යුතු බව බොහෝ දෙනකු දන්නා කරුණකි. සිකුරු-රාහු එකට සිටින අයට සිදුවන්නේ මොළය නැති මදාවියකු සමඟ ජීවත්වන ලදබොළඳ තරුණියකට සිදුවන දේය. මෙවැනි පිහිටීම් සහිත වූවන් හැඟීම්වලට වහල් නොවී දිනපතා, දස දිසා පිරිත (චූල ජිනපඤ්ජරය) භාවිත කරමින් මෛත්‍රි භාවනාව ප්‍රගුණ කරන්නේ නම් විවාහය අවුල් වන්නේ නැත. 

පොරොන්දම් ගැළපීම යනු ඉතා භාරදූර කාර්යයකි. හඳහනක් බලනවාටත් වඩා වගකීමෙන් කළ යුත්තකි. පොරොන්දම් විස්සෙන් කීයක් ගැළපෙනවාදැයි පරිගණකයෙන් දැනගත හැකියි. එය තරුණියගේ හෝ තරුණයාගේ දේපළ, රැකියාව, කුලමල, ගෝත්‍ර හොයනවා වැනි පහසු කටයුත්තකි. එහෙත් දෙදෙනා විවාහයෙන් පසුව සාර්ථක ජීවිතයක් ගත කළ හැකි තත්ත්වයේදැයි සෙවීම ඉතා අපහසුය. දේපළ, දෑවැද්ද, ආදායම, ජාතිය හොඳට ගැළපුණත් කායික සම්බන්ධතාව, දරුපල, චර්යා රටාව ආදී සියල්ලක් ගැළපීමෙන් පමණක් සාර්ථක විවාහයක් ගොඩනැඟේ. ඒ සඳහා හඳහන් දෙකම ඉතා සූක්ෂම පරීක්ෂාවකට ලක්කළ යුතුය. ඒ සඳහා සෑහෙන වෙහෙසක් මෙන්ම කාලයක්ද යෙදවිය යුතුය. දෙදෙනාම කුකුළු කේන්තිකාරයන් වුවහොත් දීගය පවතින්නේ නැත. මේවා හඳහනෙන් දැනගත හැකියි.

ජේ‍යාතිෂවේදී චන්ද්‍රසිරි සී. කළුබෝවිල
මව්බිම

යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...

Foreign Gossip

© 2015-2016 Gossip Lanka Sinhala News
 
All the content on this website is copyright protected. | Cookie Policy
Gossip Lanka Sibhala News is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa,live@8,gossipking,lankaenews,ravaya, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Politics

පිට රට විත්ති

Upload Your News