අගමැති රනිල් වික්‍රමසිංහ
ජාතික ආණ්‌ඩුව ගත් ණය ගෙවන ක්‍රමය පිළිබඳව අප සැලසුම් සකසා අවසන් බවත් දැන් අප හමුවේ ඇති අභියෝගය රාජපක්‍ෂ පාලනය තුළදී ගත් ණය ගෙවීම බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අරණායක, රයිනෝ නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේදී පසුගිය 19 වැනිදා එසේ ප්‍රකාශ කළ අගමැතිවරයා එහිදී තවදුරටත් මෙසේද කීය.
රයිනෝ ආයතනය රුපියල් මිලියන 50 ක් වියදම් කර අරණායක වසන්තගම නිවාස 20 ක් ඉදිකර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ජයසීලම් ඥානම් මැතිතුමා ඇතුළු කාර්ය මණ්‌ඩලයට මගේ ස්‌තුතිය පුද කරනවා. මේ ආයතනය ඇතුළු රාජ්‍ය නොවන තවත් ආයතන මගින් නාය යැමෙන් අවතැන් වූ ජනතාව සඳහා නිවාස හදාදී තිබෙනවා. ඉතිරි වැඩ කටයුතු සඳහා රජය විසින් මුදල් ලබාදී තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ පළමු වතාවට රුපියල් 25,000 ක්, 50,000 ක් දීමෙන් නතර නොවී අවතැන් වූ ජනතාව සඳහා ජීවත් විය හැකි මට්‌ටමේ හොඳ නිවාස ඉදිකර දී තිබෙනවා.
මෙම නායයැම සිදුවූ දින ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාත්, මමත් ගුවනින් මෙහි පැමිණ සිදු වූ විපත දැකබලා ගත්තා. මේ විපතෙන් නාය ගිය නිවෙස් පැල්පත් නොවන බව එහිදී මා අවබෝධ කර ගත්තා. ඔවුන් කඳු බෑවුම්වල හොඳ නිවාස ඉදි කර ගෙන ගොවිතැන් කටයුතු කරමින් ජීවත් වුණා. දැන් අප අලුත් නිවාස ඉදිකර තිබෙන්නේත් ඒ ආකාරයටමයි.
මේ ප්‍රදේශය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනාම මේ ව්‍යසනයේ දී විශේෂ උනන්දුවකින් කටයුතු කළා. එම අමාත්‍යවරුන් දෙදෙනාටම මේ ප්‍රදේශය ගැන හොඳ දැනීමක් තිබෙනවා. පක්‌ෂ දෙකේ වුණත් ඔවුන් එකට වැඩ කරනවා. අප මේ ප්‍රදේශයට කරන ඊළඟ වැඩසටහන කුමක්‌දැයි එම අමාත්‍යවරුන් දෙදෙනා සමඟ සාකච්ඡා කරනවා. අරණායක දියුණු කිරීම සඳහා ලලිත් දිසානායක සහ නිමල් ජයසිංහ මහත්වරුන් ද කැප වී කටයුතු කළා. මේ ආධාර බෙදා ගන්නේ කෙසේදැයි කියමින් කිසිවෙකුත් ගහගන්න ගියේ නැහැ. මෙම ප්‍රදේශයේ දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් එකට වැඩ කරන විට අප කළ යුත්තේ ඒ සඳහා සම්පත් සොයා දීමයි. පක්‌ෂ දෙකම එකට එකතු වුවහොත් ඕනෑම කාර්යයක් සාර්ථක කර ගත හැකි බවට මෙය හොඳ උදාහරණයක්.
අප වෙන්ව හිටියා නම් මෙවැනි දැවැන්ත වැඩ සටහනක් කළ නොහැකියි. පාර්ලිමේන්තුවේ විවිධ ප්‍රශ්න අසනවා. අර්බුද මතු වෙනවා. නමුත් මෙම දේශපාලන එකඟතාවය නිසා විශාල වැඩ කොටසක් කරන්නට හැකි වී තිබෙනවා. නමුත් මෙම ව්‍යසනයේ දී මේ ප්‍රදේශයේ ප්‍රධාන පක්‌ෂ නියෝජනය කරන ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් එක හඬින් ආණ්‌ඩුවේ අදාළ අමාත්‍යාංශවලින් ඉල්ලා සිටියේ ජනතාව වෙනුවෙන් සහන සලසන ලෙසයි. සියලුම ඇමැතිවරුන්ට කරදර කර ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට ඔවුන්ට හැකි වුණා.
නිවාස ලැබෙන සියලු දෙනාටම ජීවිතය අලුතින් ආරම්භ කළ හැකියි. අහිමි වූ ජීවිත පිළිබඳව අප කනගාටු වෙනවා. නමුත් අප ජීවත්ව සිටින අයට අනාගතයක් නිර්මාණය කළ යුතුයි. අනාගතයට මුහුණ දී අපි ඉදිරියට යමු. සුනාමි ව්‍යසනයේ දී එකට එක්‌වී වැඩ කළේ නැහැ. එම නිසා වසර 5 - 6 ක් ගතවන තුරුත් නොකළ වැඩ කටයුතු රාශියක් තිබුණා. අප එකට එකතු වූයේත්, මේ රටේ ප්‍රධාන ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීමටයි.
අරණායක නාය යැමෙන් මෙහි ජනතාවගේ අනාගතය නැති වූ අයුරින් යුද්ධයෙන් පසුවත් ජනතාව අතර තිබූ අසමගිය නිසා, ආර්ථිකය ක්‍රියා විරහිත වීම නිසා විශාල අර්බුද පැන නැඟී තිබුණා. එක්‌සත් ජාතික පක්‌ෂය ඇතුළු සිවිල් සමාජය, තවත් පක්‌ෂ කිහිපයක් එක්‌ව වෙනසක් ඇති කිරීමට කල්පනා කළේ මේ තත්ත්වය යටතේයි. මෙම අර්බුදයේ තිබෙන ගැඹුරු බව අප තේරුම් ගත්තා. ආර්ථිකයේ තිබූ අර්බුදය අප තේරුම් ගත්තා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා වසර දෙකකට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වූයේත් මෙම ආර්ථික අර්බුදයට මුහුණදීමට තිබූ නොහැකියාව නිසයි.
උතුරේ තරුණ තරුණියන් පළමු කණ්‌ඩායම ආයුධ ගත්තේ ඔවුන්ට රැකියා නොමැති වූ නිසයි. හොඳ රැකියා තිබුණා නම් දෙමළ භාෂා ප්‍රශ්න හෝ කිසිම දෙයක් ඇති වන්නේ නැහැ. රැකියා නොමැති වූ නිසා මෙම ප්‍රශ්න ඇති වුණා.
ආර්ථික අර්බුද හමුවේ අරණායක වැනි ව්‍යසනයක් ඇති වූ අවස්‌ථාවකවත්, ඊට මුහුණ දීමට රජයට හැකියාවක් නැති වේ යෑයි ඇතැමුන් සිතුවා. ඇත්ත වශයෙන්ම ඒ අවස්‌ථාවේ අපට මුදල් තිබුණේ නැහැ. නමුත් කෙසේ හෝ අප මුදල් සොයා ගෙන අවශ්‍යතා ඉටු කළා. 2015 වසර වන විට රටට ආදායමක් තිබුණේ නැහැ. එදිනෙදා වියදම් සඳහාවත් අපේ ආදායම ප්‍රමාණවත් නැහැ. විශාල ණය බරක් තිබුණා. නමුත් කෙසේ හෝ ගැටලු නිරාකරණය කර ගෙන අප ප්‍රශ්නවලට මුහුණ දුන්නා.
රජය ගෑස් මිල අඩු කළේ කෙසේද, පාන් මිල අඩු කළේ කෙසේද, ඉන්ධන මිල අඩු කළේ කෙසේද ආදී ප්‍රශ්න බොහෝ අයට තිබුණා. ජාත්‍යන්තරයේ මිල අඩු වන විට අපත් එම සහනය ජනතාවට ලබාදිය යුතුයි. අමාරුවෙන් හරි අප ජනතාවට සහන ලබා දුන්නා.
රට හමුවේ ඇති දේශීය සහ විදේශීය ණය ගෙවන්නේ කෙසේද යන්න රජය මුහුණ දුන් ලොකුම ප්‍රශ්නයයි. රාජපක්‌ෂ රෙජිමය ගත් විදේශ ණය ගෙවිය යුතු යුගය දැන් එළැඹී තිබෙනවා. 2006 වසරේ සිට ඔවුන් ගත් ණය දැන් ගෙවන්නට සිදු වෙලා. ඒ ණය ගෙවන්නේ කෙසේදැයි හිටපු ජනාධිපතිවරයා දැනගෙන සිටියේ නැහැ. අප කෙසේ හෝ මේ ණය උගුලට මුහුණදීම සඳහා සැලසුම් සකස් කර තිබෙනවා.
මා මෙහිදී දේශීය ණය ගැන කතා කරන්නේ නැහැ. අපට ගෙවීමට ඇති විදේශ ණය පිළිබඳව දැන් කියන්නම්. 2017 වසරේදී ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය ඩොලර් කෝටි 408 යි. 2018 වසරේදී ඩොලර් කෝටි 416.4 ක් ද, 2019 වසරේ දී ඩොලර් කෝටි 314 ක් ද, 2020 වසරේ දී ඩොලර් කෝටි 320 ක් ද, 2021 වසරේ දී ඩොලර් කෝටි 319 ක් ද, 2022 වසරේදී ඩොලර් කෝටි 356 ක් ද, 2023 වසරේ දී ඩොලර් කෝටි 194 ක් ද, 2024 වසරේ දී 184 ක් ද, 2025 වසරේ දී 390 ක් ද, 2026 වසරේ දී 253 ක් ද වශයෙන් විදේශීය ණය ගෙවීමට තිබෙනවා. මේ අනුව සම්පූර්ණ විදේශ ණය සහ පොලිය ඩොලර් කෝටි 3119 ක් ගෙවීමට සිදු වී තිබෙනවා.
2026 වසර වන තෙක් මේ ආකාරයට ණය ගෙවීමට සිදුවී තිබෙනවා. අපේ විශාලතම ප්‍රශ්නය වන්නේ 2017, 2018, 2019 වසරවල මේ ණය ගෙවන අතරතුර ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කරන්නේ කෙසේද යන්නයි. මෙම ණය මුදල රුපියල්වලින් ගතහොත් රුපියල් කෝටි හාර ලක්‌ෂ අසූ දෙදහස් නවසිය හතළිහක්. අප මෙම ණය අර්බුදයට මුහුණ දෙන අතරතුර සංවර්ධනය ඇති කරන්නේ කෙසේදැයි සාකච්ඡා කරමින් සිටිනවා.
හම්බන්තොට වරාය පටන් ගත් සැණින් තෙල් පිරිපහදුවක් ඇරැඹීමට එකඟ වී තිබෙනවා. එමෙන්ම තවත් සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ද පටන් ගන්නවා. එල්.එන්.ජී. විදුලි බලාගාරයක් පටන් ගන්නවා. නැව් තටාකාංගනයක් පටන් ගන්නවා. අඩු ගණනේ මුල් අවස්‌ථාවේ දී කර්මාන්ත ශාලා 200 - 300 ක් මෙහි ආයෝජනය කිරීමට එනවා. ඒ අනුව මේ වසර දෙකේ දී අපට හොඳින් දියුණු වී රැකියා දෙමින් ඉදිරියට යාමට හැකියාව තිබෙනවා. ඉන් අනතුරුව අප තවත් කර්මාන්ත කලාප ආරම්භ කරනවා. සංචාරක කලාප බිහි කරනවා. මේ ප්‍රදේශ ආශ්‍රිතව කර්මාන්ත කලාප බිහි වේවි. අවිස්‌සාවේල්ල වෙළෙඳ කලාපයේ වාසිය දෙහිඕවිට ප්‍රදේශයටත් ලැබෙනවා.
ගමේ සිටින තරුණ තරුණියන්ටත් අප රැකියා ලබාදිය යුතුයි. මෙම රැකියා ලබාදීමේ සංග්‍රාමයට විරුද්ධව නඩු පැවරීම සම්බන්ධයෙන් මා පුදුමයට පත් වුණා. ඔවුන් කියන්නේ ඩොලර් කෝටි 3600 ක් ජනතාවගේ සාක්‌කුවෙන් ගෙවන්න කියලාද? ආණ්‌ඩුව ගන්නා ණයවලට කරන්නේ කුමක්‌දැයි මා මිත්‍ර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විමසනවා. ඒ ණය ගෙවන ආකාරය ගැන මා කියන්නම්.
ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලැබුණු පසුව යුරෝපයට යවන ඇඟලුම් අපනයනය ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. අප ගත් ණය අප විසින් ඒ මුදලින් ගෙවන්නම්. ඊට අමතරව ජපානය අපට උපකාර කරනවා. අපට බැඳුම්කර දෙන්න, අප ඒ බැඳුම්කර සනාථ කරනවා යෑයි ජපානය පැවසුවා. එය හඳුන්වන්නේ සමුරායි බැඳුම්කර යනුවෙනුයි. එහි වගකීම ජපානයේයි. ඒ මුදල අපටයි. එයින් ඩොලර් කෝටි 100 ක පමණ මුදලක් අපට ලබාගත හැකියි. ජාතික ආණ්‌ඩුව ගත් ණය ගෙවන ක්‍රමය පිළිබඳව අප සැලසුම් සකසා අවසන්. දැන් අප හමුවේ ඇති අභියෝගය නම් රාජපක්‌ෂ ණය ගෙවීමයි. දැන් මේ අය ඊර්ෂ්‍යාව නිසා නඩු පවරා රැකියා ලබාදීමේ අවස්‌ථාවත් නැති කරන්නට උත්සාහ කරනවා. කුමන ආකාරයෙන් ක්‍රියා කළත් අප අපේ සැලසුම් නවත්වන්නේ නැහැ. ඉදිරියටම ගමන් කරනවා. මෙරට තරුණ තරුණියන්ට විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. අලුතින් පක්‌ෂ දෙක එක්‌ව ප්‍රතිඵල ලබාදේවි යෑයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. පාක්‌ෂිකයන්ට විශාල බලාපොරොත්තුවක් තිබෙනවා යෑයිද අගමැතිවරයා කීය.
අරණායක - ගරුමුණි තිලකරත්න
යාළුවන්ටත් බලන්න Share කරන්න
අපගේ පුවත් හා ලිපි එසැණින් දැනගන්න
අපගේ නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න
ඔබේ අදහස් පහතින් පලකරන්න...



